සූරියවැව – නුවන් ජයසේකර –
කතරගම මහ දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේවරයා ලෙස පත් වු තිළිණ මදුසංඛ කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සුබ මොහොතින් වැඩ ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදුකෙරුණි.
කතරගම මහ දේවාලයේ හිටපු බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගේ ධුර කාලය අවසන් වීමෙන් පසු නව බස්නායක නිළමේ වරයෙකු ජන්දයෙන් පත් කරගන්නා තෙක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් දේවාලයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා නව වැඩ බලන බස්නායක නිළමේ වරයා ලෙස තිළිණ මධුශංක පසුගිය දින පත් කෙරුණි.
ඒ අනුව නව වැඩබලන බස්නායක නිළමේ වරයා කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු කිරිවෙහෙර සෑ රදුන් ඉදිරිපිටදි හා අෂ්ඨඵළ රුහ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී විශේෂ ආගමික වතාවත් පවත්වා ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව දේවාලයේ නිළ වශයෙන් වැඩ බාරගැනීම සිදුකරන ලදි. මේ අවස්ථාව සඳහා මහාසංඝරත්නය හා හිටපු බස්නායක නිළමේ වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







