දිනසේන රතුගමගේ –
දැඩි නියං කාලයට වන්නි පළාතේ ගවයින්ට හා එලුවන්ට තණ උලාකෑමට ස්ථානයක් නොමැති නිසා පළාතේ අක්කර 200 කින් යුතු තෘණ භූමියක් පිහිටුවීමට පියවර ගන්නා බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ඊ.පී.ඩී.පී.) කුලසිංහම් තිලිපන් පැවසීය.
මන්ත්‍රීවරයා එසේ පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමීතියේ නිලධාරීන් සමග වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
කිරි ගොවීන් මුහුණ දී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ අක්කර 200 ක තෘණ භූමිය වටා ගවයින්ට හා එලුවන්ට පානය කිරීමට ජලය සැලයෙන පොකුණු හා මී ගවයින්ට පෙරළී සිටීමට මඩ සහිත විශේෂ කුඩා වැව්ද පිහිටුවන බවයි.
නියං සමයට වන්නියේ ගවයින්ට හා එලුවන්ට උලා කෑමට තණකොළ නොමැතිකම නිසා සතුන් මියයාම ගත වූ කාලයේදී වැඩි වීමක් පෙන්නුම් කිරීම නිසා තමන් මේ පියවර අනුගමනය කරණ බවද තිලීපන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
වවුනියාවට නුදුරු පළාතක මෙම තෘණ භුමිය ස්ථාපිත කිරීම සදහා මුලින්ම ඉඩම් හඳුණාගැනීමේ කටයුතු ආරම්භ කරණ බවද ඔහු මෙහිදී පැවසීය.