එජාපයෙන් අයින්වුණු හේතුව අර්ජුන නුවර ඇවිත් කියයි!

වෙනම පක්ෂයක් හදන්න හෝ පවතින පක්ෂයක් සමඟ එකතු වී දේශපාලනයේ නිරත වීමේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට රටට අවශ්‍යය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග   මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

පක්ෂ දේශපාලනය තුළ තව දුරටත් සිරනොවී තමන් ස්වාධීනව ඉඳිමින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන බවද ඔහු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු අර්ජුන රණතුංග   තම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් කිරීම සඳහා අද (30) මහනුවරට පැමිණියේය. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගතේය.


මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහියෝ මෙසේ පැවසූහ .

“මේ රට ප්‍රශ්න වලින් පිරිලා. ඒ එකකටවත් විසඳුම් නැහැ. අවසානයේ ඔක්කොම බර පැටවෙන්නේ ජනතාව මතටයි. එකක් ඉවර වෙන කොට එකක් ලෙස එන ප්‍රශ්න ඉදිරියේ ජනතාව අසරණ වී සිටිනවා.“

මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු අර්ජුණ රණතුංග   මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ  පැවසුවේය.

“අද මේ රටට පවතින පක්ෂ දේශපාලනය තුළින් යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි. අපි ගොඩනගන්න උත්සහ කරන්නේ එයයි. ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කිහිපයක් සමඟ මා සාකච්ඡා කළා. එජාප පෙරමුණෙන් 2015 ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියා. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් මට බාර දුන්නා. ඒවා ලාභ ලබන තත්ත්වයට මම ගෙනාවා. රටේ දේපොළ විකුණන්න යත්දී ඒවා බේරා ගත්තා. “

“පසුගිය මහ මැතිවරණයේදී එජාපය පරාජය වීමෙන් පසු සැවොම එකට තියා ගන්න මම ලොකු උත්සහයක් ගත්තා. ඒ වෙලාවේ හැමෝම එකට හිටියා නම් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාවට අවශ්‍යය දේ සිද්ධ වුණු නිසා මම වසර දෙකක් දේශපාලනයෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු කළා. “

“ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් යන විට රටේ ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙනවා. මේවා කොවිඩ් උවදුර නිසාම ඇති වුණා කියන්න බැහැ. එජාපයේ සිටීම පක්ෂයට වගේම මටත් වැඩක් නැහැ කියලා හිතුණ නිසා මම අයින් වුණා. එජාපයේ වෙනසක් ඇති කරන්න ඕන කියලා මම හිතුවා. නායතුමා සමඟත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් මේ ගැන සාකච්ඡා කළා. අවාසනාවකට ඒ දේවල් සිද්ධ වුණේ නැහැ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පක්ෂ දේශපාලනයට මම කැමැති නැහැ. පසුගිය මහ මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වුණා නම් මට පහසුවෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා. නමුත් අද මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොලැබුණු එක ගැන. තමන් ගැන නොසිතා රටට ආදරය කරන වංචාව දුෂණය පිටු දකින කණ්ඩායමක් මේ රටේ පාලනයට අවශ්‍යයි. අපි කටයුතු කිරමින් සිටින්නේ එවැනි පිරිසක් ඒකරාශි කිරීමටයි.“

Exit mobile version