ලලිත් චාමින්ද –
“එක්ප්‍රස් පර්ල්“ ගිනි ගන්නට පෙර එනම් 2020 සැප්තැම්බර් මස 03 වැනි දින සංගමන්කන්ද තුඩුව අසලදී ගිනි ගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව කළ හානියට අදාලව සමස්ථ වන්දි මුදල පසුගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගත් 2021 මැයි 15 වනවිටත් අයකරගෙන නොතිබුණු බව වාර්තා වේ.
ජාතික විගණන අධිකාරියෙන් නිකුත් කළ අලුත්ම විගනන වාර්තාව හෙලි කරන්නේ තමන් විගණනය ආරම්භ කළ දිනය වූ අප්‍රේල් මස 30 දා වනවිට එම වන්දි මුදල අයකරගෙන නැතිය.
එම විගණන වාර්තාව තව දුරටත් හෙළි දරවු කරන්නේ මෙම දැවැන්ත තෙල් නෞකාවෙන් සමුද්‍රිය පරිසරයට වු හානිය සම්බන්ධයෙන් සමුද්‍ර දුෂණ වැලැක්වීමේ පනතේ 34 වැනි වගන්තිය යටතේ සජීවි මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීමට අදාල වන්දි මුදලක් ඉල්ලුම් කළ හැකි වුවත් එය ඉල්ලුම කර හෝ අයකරගෙන නැති බවය.
මෙවැනි අනතුරක අත්දැකීම් ලැබීමෙන් පසු හෝ සජිවී මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීමට අදාල සමුද්‍රිය සංවේදී කලාප හඳුනාගෙන ගැසට් කිරිමට අවශ්‍ය කටයුතු සිදුකළයුතු වුවත් විගණිත දිනය වනවිටත් ඒ සඳහා කටයුතු කර නොතිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රි ලංකා රජය මගින් දරනු ලැබු වියදම් වෙනුවෙන් 2020 සැප්තැම්බර් මස 16 වැනිදින රුපියල් මිලියන 300ක අන්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් හා 24 වැනිදින රුපියල් මිලියන 100 වටිනා අන්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් අදාල සමාගම වෙත ඉදිරිපත්කොට සම්පුරණ මුදල අයකරගැනීමට කටයුතු කරතිබුණි.
තවද නිව් ඩයමන්ඩ් නෞකාවට අදාලව තෙල් විසුරුම් මගින් දුෂණය සිදුකිරිමේ වරද මත නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩුපවරා තෙල් දුෂණයට අදාලව රුපියල් මිලියන 10ක දඩමුදලක් අයකරගෙන තිබුණි.
එමෙන්ම නෞකාවේ අනතුරක් සම්බන්ධයෙන් වු දුෂණ සම්බන්ධව වෙරළබඩ රාජ්‍යයට වාර්තා නොකිරීමට අදාලව මෙකී නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩු පවරා රුපියල් මිලියන 02 දඩ මුදලක්ද අයකරගෙන ඇත.
එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 03වැනිදින මෙම නෞකාවේ ගිනි ගැනීම පාලනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ඇමරිකානු ඩොලර් 280,000ක මුදලක් ඉල්ලුම්කොට තිබුණි.
මෙකී මුදල අදාල නැව් සමාගම විසින් මහාභාණ්ඩාගාරය වෙත තැන්පත්කොට තිබු අතර එම මුදලින් රුපියල් මිලියන 45.54ක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත මහාභාණ්ඩාගාරය මගින් ලබා දී තිබුණි.
බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රාකරමින් තිබු මෙම නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරදි අනතුරට ලක්විය.
2020 සැප්තැම්බර් මස 03 වැනිදින නෞකාව ගිනිගැනිමට ලක්විය.