බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් නොව ජාතික උරුම සංරක්ෂණ ඉතිහාසයේ කළු දින මාලාවක් සටහන් කරමින් සිටින බව පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙක් මෙන්ම ලෝකයේ විශිෂ්ඨම උරුම සංරක්ෂකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් ලෙස සම්භාවනාවට පත් ආචාර්ය ගාමිණී විජේසූරිය ප්‍රකාශ කරයි.
මෙතෙක් පැවති රාජ්‍ය සේවයේ විශිෂ්ඨ සම්ප්‍රදායක් බිඳ දමමින් 2021 ජනවාරි මස 01 වැනිදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දේශපාලන පත් කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව සිදුවුන බරපතල අසාර්ථක වීමෙන් පසුත්, දෙපාර්තමේන්තුව තුළ සුදුසුකම් සැපිරූ විද්වතුන් සිටිය දී දේශපාලන සිතැඟියාවන් මත දිගින් දිගටම වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරුන් පත් කරමින් ඇමතිවරයා මෙම අපරාධය සිදුකරමින් සිටින බව ආචාර්ය ගාමිණී විජේසූරිය කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කළු දින සටහන් නොකරන්නැයි තමන් පුරාවිද්‍යා උපදේශක සභාවේ දී විවෘතව ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි විට ඇමතිවරයා කීවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ කළු දිනයක් සලකුණු කළා නම් තමා ඉල්ලා අස්වන වන බව යැයි ද, එසේ කී ඇමතිවරයාට තමන් එදා දැරූ අදහස ගැන යළිත් කල්පනා කළ යුතු අවස්ථාව එළඹ තිබෙන්නේ යැයි ද ආචාර්ය ගාමිණී විජේසූරිය පෙන්වා දෙයි.
“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ භාෂා, රසායන විද්‍යා, ඉතිහාසය, සංස්කෘතිය පුරාවිද්‍යාව, සංකර්කෂණය, වාස්තු විද්‍යාව, භූ විද්‍යාව, වාගේ විවිධ ශාස්ත්‍රීය පසුබිම්වලින් යුත් නිලධාරින්ගෙන් සමන්විත ශාස්ත්‍රීය ආයතනයක්. ඔවුන් ලබා ගත් අත්දැකීම් සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. මේක මේ වගේ ශාස්ත්‍රීය ආයතනවල සිද්ධ වන සහ සිද්ධ විය යුතු රාජ්‍ය සේවයේ පිළිගත් ක්‍රමවේදයක්. උදාහරණයක් ලෙස ආචාර්ය සෙනරත් දිසානායක අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විට වසර 17ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨතම අංශ ප්‍රධානියා වුනේ ඔහුයි. ආචාර්ය සිරාන් දැරණියගලත් එහෙමයි.”
“මට තියන ප්‍රශ්නය මේකයි. මේ තනතුර දරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු විද්වතුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ ඉන්නවා. උදාහරණයක් විදිහට නිකැලල් රාජකාරි වාර්තා එක්ක දෙපාර්තමේන්තුවේ විශාලම අංශයවන වාස්තුවිද්‍යා සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස වැඩකරන විද්වත් වෘත්තිකයා මේ වනවිට අවුරුදු 23ක් තිස්සේ එම අංශය තුළ අංශ ප්‍රධානියා විදිහට වැඩ කරනවා. ඒ වගේම ඔහු වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( ශාස්ත්‍රීය ) ලෙසත් කටයුතු කරලා තියනවා. “
“මේවගේ නිලධාරීන්ව පදනමක් නැතිව නොසලකා හරිමින් ඇමතිවරයා මේ කරන අත්තනෝමතික කටයුත්ත කිසිම තාර්කික බවක් නැති වෛරී ක්‍රියාවක් විදිහටයි අපට පේන්නේ.”
“මේ ආයතනයට දේශපාලන පත්වීම් කිරීම අතිශින්ම අසාර්ථකයි කියලා සනාථ වුනා සුදුසුකම් සහිත පුද්ගලයින් දෙපාර්තමේන්තුවේ සිටිද්දි වර්ෂ 2021 ජනවාරි මාසයෙදි පත්කළ පුද්ගලයාගේ ක්‍රියා කලාපයෙන්. “
“ඒ පත්කිරීම දෙපාර්තමේන්තුවේ බිඳවැටීම සනිටුහන් කළ අවස්ථාවක්. මේ පත්කිරීම කරනවිටම ඉන් සිදුවිය හැකි හානිය සම්බන්ධව දන්වා මා මගේ ලිඛිත විරෝධය පල කළා. එය අසුවේ නෑ. එහි විනාශකාරී ප්‍රතිඵලය අපි දැක්කා. “
“එවැනි අත්දැකීමක් තිබෙද්දිත් ඇමතිවරයා යළි යළිත් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කරමින් ඉන්නවා. “
“පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වැනි කීර්තිමත් සහ වැදගත් තනතුරක ක්‍රියා කිරීමට දේශපාලන ලබැඳියාවන් මත පත්කරන පුද්ගලයින්ගේ සුදුසුකම් සහ පත් කිරීමට පාදක හේතුද ප්‍රශ්න සහගතිය. මා විශ්වාස කරන ආකාරයට මෙය සම්ප්‍රදාය සහ රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් නොසලකා හැරීමක්. මේ රටේ උරුම කළමනාකරණයට මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඓතිහාසිකව සිදු කළ ඉතාමත් අහිතකර කටයුත්තක්. ඇමතිවරයා මේ කළු දින සටහන් කරමින් යන අත්තනෝමතික ගමන නැවැත්විය යුතුයි. ඔහු ඇහුම්කන් දිය යුතුයි.”
ආචාර්ය ගාමිණී විජේසූරිය මේ පිළිබඳව කළ විමසීමක දි ලංකාසරට පැවසුවේය.