දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සංවිධාන ගණනාවක් නොවැම්බර් මස 21 දා සිට 27 වෙනිදා දක්වා උතුරේ ස්ථාන ගණනාවක සංවිධානය කොට තිබූ මහවිරු සමරු උළෙල සියල්ලම තහනම් කිරීමට උතුරේ පොලිස් බලධාරීන් පියවර ගෙන තිබේ.
උතුරේ සෑම අධිකරණ බල ප්‍රදේශයක් තුළම මෙම මහවිරු උළෙලවල් පැවැත්වීම වළක්වාලමින් අධිකරණවලින් තහනම් නියෝග ලබා ගැනීමට පොලිස් ස්ථාන පියවර ගෙන ඇති අතර මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණ බල සීමාව තුළ මහවිරු උළෙල පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් මේ වන විටත් ලබා ගෙන තිබේ.
මුලතිව් පළාතේ මහවිරු උළෙල 12 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබූ අතර එම සංවිධායකයින් 12 දෙනාටද මුලතිව් අධිකරණයෙන් නිකුත් කරණ ලද අධිකරණ නියෝගය ලැබීමට සලස්වා පොලීසිය විසින් කරුණු අවබෝධ කොට දී තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් උතුරේ මහවිරු උළෙලවල් පවත්වනු ලබන පිරිස තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙස උතුරේ ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් මේ වන විටත් සියලුම පොලිස් ස්ථානවලට දැණුම් දී ඇති අතර උතුරේ සුසාන භූමී රැසකට දැඩි ආරක්ෂාව යොදා තිබේ.