දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කෙරෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වලට ආරාධනා කොට තිබේ.
මැයි මස 11,12 හා 13 යන දිනවලදී කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතකට අයත් නියෝජිතයෝ සහභාගී වීමට නියමිතව ඇති අතර එම පක්ෂ විසින් යාපනයේදී පවත්වන ලද සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාවට සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් උතුරේ දෙමළ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවන බවටයි.
දෙමළ ජනතාව නියෝජනය කෙරෙන ප්‍රදේශය උතුරු ප්‍රදේශය පමණක් නොවන නිසා නැගෙනහිර පළාතද ඊට එකතු විය යුතු බවට තීරණය කොට ඇති දෙමළ පක්ෂ හතේ නායකයන් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන්ට මේ සාකච්ඡාව සදහා ඉඩක් නොලැබීම බලවත් අසාධාරණයක් නිසා ඒ පිළිබදව ජනධිපතිවරයාට ලිපියක් යැවීමටද යාපනයේ පැවති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
ජනාධිපතිවරයා සමග දෙමළ දේශපාලන පක්ෂවලට සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා වුවහොත් ඉන් පසුව දෙමළ ජාතික සම්මේලනයක් පිහිටුවා උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදී යා යුත්තේ කවර යාන්ත්‍රණයක් යටතේද යන්න පිළිබදව සියළු දෙමළ දේශපාලන පක්ෂ එකතු වී කෙටුම්පතක් පිළියෙල කිරීමටද යාපනයේදී තීරණය කොට ඇත.