ඊයේ පමණක් මරණ 101… කොවිඩ් වෙනුවට කොවිඩ් මරණ කළමනාකරණය කර රටක් ආදාහනය කරන හැටි

covid

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඊයේ (10) ලංකාවේ දිනකට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සියය ඉක්මවා ගියේය. ඒ අනුව ඊයේ  වාර්තාවන මරණ සංඛයාව 101කි.  දැන්  රටේ කොවිඩ් මරණ සංඛ්‍යා දෙදහස ඉක්මවා ඇත. මේ වනවිට වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 2011කි.

එය නිල වශයෙන් තවමත් වාර්තා කරගත නොහැකිව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කල්මරමිනි. ආණ්ඩුවේ කොවිඩ් මරණ වර්තා කිරීමේ කළමනාකරණ නිරුවත හෙළි වෙමින් ඇත. ඔවුන්ගේ මරණ කළමනාකරණයේ අලජ්ජී බව සබුද්ධික මිනිස්සු ප්‍රශ්න කරමින් සිටිති.

ඊයේ මරණ සංඛ්‍යාව තවම නිල වශයෙන් වාර්තා කර නැත. පෙරේදා (09) ,පළමුදා (08) ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදා සෞඛ්‍ය අධ්‍යක් ජනරාල්වරයා එදිනට අදාල එක් මරණයක් හෝ වාර්තා කළේ නැත. 05 දා වාර්තා කළේ එදිනට අදාල 01 මරණයකි. මරණ හතලිස් ගණන් පනස් ගණන් වාර්තා කරමින් තිබුණේ සති ගණනක් පුරා පැතිරී ගිය වාර්තා නොකළ මරණවල එකතුවකිනි.
මරණ වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශ කළ සෑම දිනයකම අප දැනුවත්ව කරාපිටිය, නුවර, රාගම, පේරාදෙණිය මෙන්ම කොළඹ ජාතික රෝහල් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ විස්සකට වැඩි ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණකර තහවුරු කර වාර්තා කර තිබිණි.


මේ වනවිට ඊයේ වාර්තාව කළ මරණ 101 අඩු කර වාර්තා කිරීමේ ප්‍රයත්නයක බලධාරීහු නිරතව සිටිති.
මොවුන් මේ මරණීය ඛේදවාචකය සඟවන්නේ කවරෙකුට දැයි ප්‍රශ්න කිරීමේ මොහොත එළඹී තිබේ.

තවමත් නිල වශයෙන් අප්‍රකාශිත ඊයේ මරණ 101ත් සමග  මෙරට කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා (11) නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2011කි.

මේ මරණ සංඛ්‍යාව සිදුවී තිබෙන ආකාරය විශ්ලේෂණය කර බැලූ විට   මෙරට පළමු කොවිඩ් රෝගියා වාර්තා වූ දින සිට පසුගිය 2021 මැයි 31 ක් වෙනදා තෙක් සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව. 1527කි.  මේ අතරින් මැයි මාසයේ දී පමණක් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 816කි. එම මරණ සංඛ්‍යාව ප්‍රමාද වී වාර්තා කළ මරණ ලෙස ගනිමින් මේ මොහොතෙත් වෙනස් කරමින් ඇත.

තුන්වන කොවිඩ් රැල්ල මැයි මාසය තුළ පමණක් මොනතරම් බරපතල වී තිබෙන්නේද යන්න ඉන් මනාව පෙනේ.
මේ වනවිට සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 2011කි. මේ සිදු වූ මරණ කොටසින් කොටස විශ්ලේෂණ කළ බැලූ විට අර්බුදයේ බිහිසුණුකම පෙනේ.

පළමුවන මරණ 500 සිදු වීමට ගත වන කාලය දින 343 කි. එය දළ වශයෙන් අවුරුද්දක පමණ කාලයකි.
දෙවන මරණ 500 සිදුවීම සඳහා ගත වූ කාලය දින 72 කි. එය මාස දෙකහමාරක පමණ කාලයකි.
තුන්වන මරණ 500 සිදුවීමට ගත වි ඇත්තේ දින 13කි.  එනම් සති දෙකකටත් වඩා අඩු කාලයකි.
අවසාන මරණ 500 වාර්තා වන්නට ගත වන්නේ දින 07ක් පමණි. ඊයේ පමණක් මරණ 101කි.

මරණ ප්‍රකාශ කිරීම කළමනාකරණය කර දත්ත හංගා මේ රට ගමන් කරන   බිහිසුණු ව්‍යසනය යට ගැසීම මොනතරම් තුච්ඡ අපරාධයක් දැයි අප මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. 

වසංගතයක දී රට සම්බන්ධ තීන්දු ගන්නේ විද්‍යාත්මක දත්තතයන්ය. මේ නින්දිත සූදුව කෙළින්නේ මේ රටේ හෙළිදරව් විය යුතු දත්ත සමුච්ඡයන් සමගිනි.

කොවිඩ් 19 රෝගීන් 1000ට සිදුවී තිබෙන මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී වැඩිම ප්‍රමාණයක් මරණය පත්ව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එය කොවිඩ් රෝගීන් 1000ට මරණ 20කි. දෙවනුව වැඩිම කොවිඩ් මරණ අනුපාතය බදුල්ලෙනි. රෝගින් 1000කට මරණ 17ක් සිදුව තිබේ.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම අගය රෝගීන් 1000ට 16කි.

දත්ත විශ්ලේෂණය කර නිසි සැලැස්මක් අනුව වසංගත රෝග විද්‍යා අංශය මුල සිටම කටයුතු කළේ නම් කොවිඩ් මරණ ගැන මෙතරම් බරපතල ලෙස කථා නොකර සිටීමට තිබුණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය අපට කියයි.

අප යළිත් ඉල්ලා සිටින්නේ මේ කාලකණ්ණි සූදුව නොකරන ලෙසය. අප පුරුද්දට රැවටෙන මිනිස්සුය. පුරුද්දට රවට්ටන මිනිස්සුය. එහෙත් මේ මොහොතේ අපව රවට්ටමින් මේ කරන්නේ කිසිම ශිෂ්ට සම්පන්න රටක් නොකරන මාරාන්තික ම්ලේච්ඡ විහිලුවක් බව මහත්වරුනි… ඔබට කිව යුතුව ඇත.

ෙඇඟේ හයියට කොවිඩ් මර්ධනය කළ නොහැකි බව යළි යළිත් තහවුරු කර ඇති ප්‍රභූන් තවමත් කරඬු සේ තබා ගනිමින් අනිල් ජාසිංහලා පරිසරය ගැන බලාගන්නටත්, අමල් හර්ෂලා පශු සම්පත් රකින්නටත් පත් කළ විද්‍යාත්මක පත්වීම් ඇතුළු සමස්ථ නොහැකියාවෙන් වන්දි ගෙවන්නෙ රටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අප හොඳටම කළ ආකාරයේ මරණීය ප්‍රතිඵලය ය.


Exit mobile version