ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරන පරිදි රජය සතු ඒකාධිකාරී බලය තහවුරු කරන 1961 අංක 28 දරණ පනත හා භූමියේ සම්පත්වල අධිකාරී බලය තහවුරු කරන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කර විදේශ සමාගම් වෙත එම සම්පත් විකුණා දැමීමට රජය කටයුතු කරගෙන යන ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද හෙළිදරවු කළේය.
මෙම තත්වය ඔහු විසින් මාධ්‍යයට පැහැදිලි කළේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාවේ අයි.ඕ.සි සමාගම සමග බැඳුනු දශක දෙකක ගිවිසුම් කාලය නිමා වී 2023 දී ලංකාවට යළි හිමිවන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහිත ඉන්ධන සඳහා වූ පූර්ණ ඒකාධිකාරී බලය යළි සදාකාලිකව අහිමි කරගනිමින් පනත සංශෝධනය කිරීමටත්, 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත සංශෝධනය සඳහා ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් රජය සූදානම් වන බව මෙහිදී මන්ත්‍රීවරයා කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේත් ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම සහ ගබඩා කිරීම වගේම බෙදා හැරීමත් 1961 අංක 28 දරණ පනත අනුව තෙල් සංස්ථාවේ ඒකාධිකාරයක්. තෙල් වෙළඳපොලේ අධිකාරීත්වය විදේශ සමාගම්වලට පවරා දෙනු ලැබුවහොත් රට දුවනවාද නතර කරනවාද යන්න පවා තීරණය කරන්නේ තෙල් සමාගම්.
නමුත් 2001 දෙසැම්බර් මාසයේදී විශේෂ විධිවිධාන පනතක් මගින් තෙල් ගෙන්වීම ගබඩා කිරීම සහ බෙදා හැරීම යන ක්ෂේත්‍ර පමණක් IOC සමාගමට අවුරුදු 20ක් සඳහා පවරා දුන්නා. එම බලපත්‍රය 2023 වෙනවිට අහෝසි වෙනවා. ඉන් පසුව තෙල් සම්බන්ධයෙන් ඒකාධිකාරය සම්පූර්ණයෙන් අපේ රටට අත්වෙනවා.
නමුත් දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් නායකයන් 1961 අංක 28 දරණ පනත සංශෝධනය කර අපේ රටේ තෙල් වෙළඳපොල විදේශ සමාගම් වෙත විවෘත කරන්න සූදානම් වෙනවා. ඒ අනුව පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් යන ඛනිජ තෙල් නිෂ්පාදන, විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය, මිශ්‍රකිරීම හා බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබන පාර්ශවයන් වෙත ලබා දෙන්න යනවා.
ඛනිජ තෙල් වෙළඳපොල විවෘත කරන්න උදය ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා සූදානම් වෙනවා. තෙල් වෙළඳපොලටත් විදේශීය සමාගම් කැඳවා ගැනීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් බලය IOC ඇතුළු විවිධ විදේශීය සමාගම්වලට පවරා දෙන්න ක්‍රියාකරමින් තිබෙනවා. අපේ රටට ජාතික වශයෙන් වැදගත් ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් සම්පත් සියල්ල විදේශීය සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක් තිබෙනවා.
මෙම මස 06 වෙනිදා අපේ රටේ තෙල් කැණීම් පිළිබඳව තිබෙන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත අනුව තෙල් කැණීම, නිෂ්පාදනය කිරීම සහ සියළු පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් පවතින පනත අහෝසි කරන්න සූදානමක් තියෙනවා.
වෙන්දේසිකරුවන් කණ්ඩායමක් විසින් රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම් වෙත පවරනවා. තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට අපි අවධාරණය කරන්නේ තමන්ගේ ක්ෂේත්‍ර තුළ දියත් කර තිබෙන මෙම විනාශය වැළැක්වීම සඳහා එකට එකතුවිය යුතු බවයි.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත්වීම කරන්න අපි සූදානම්. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජය කිරීම සඳහා එකතුවන ලෙස අප සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා







