පාස්කු ප්‍රහාරය ගැන කියැවෙන බොහෝ කතා තර්කයක් නැති ප්‍රලාප … පොලිස්පති

පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ  දක්වා විවිධ පාර්ශව විසින් සිදුකර තිබෙන ප්‍රකාශ හා මත වල අඩංගු කරුණු ගැඹුරින් විමර්ශනයට ලක්කර ඇති නමුත් ඒ සියලු ප්‍රකාශ, මත හා තර්කයන් සත්‍යයෙන් තොර හා පදනමකින් තොර හුදු ප්‍රකාශ පමණක් බවට තහවුරු වී යැයි පොලිස්පතිවරයා අද  ( 25) කීවේය.

ලංකාවේ පවත්නා නීතිය අනුව මේ සියලු ප්‍රකාශ හුදු මතයක් අධිකරණය වෙත ගෙන ඒමට හැකියාවක් නැති බව කී පොලිස්පතිවරයා  යමෙක් මතයක් ඉදිරිපත් කරන්නේ නම්   කරුණු සහිතව අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට    ඔප්පු කිරීම හැකි, අධිකරණය ඉදිරියේ නීති කෘත්‍යයක් පවත්වා ගත හැකි  මත හෝ තර්ක ඉදිරිපත් කරන ලෙසත්,  පුද්ගලික ප්‍රසිද්ධියක් හෝ තාවකාලික ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා මෙවැනි හිස්, පදනම් විරහිත මත හා තර්ක ඉදිරිපත් නොකරන ලෙස අවධාරණය කරන බවත් පැවසීය.

පොලිසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අදහස් ප්‍රකාශ කිරීමට මහජනයාට තිබෙන අයිතියට ගරු කරන බවත්, එවැනි අදහස් විවේචනයට ලක් කිරීමට හෝ එම අදහස් හෑල්ලුවට ලක් කිරීමට   විටෙකත් ක්‍රියා  නොකරන බවත් පවසන පොලිස්පතිවරයා  එසේ වුවද විමර්ශන අවසන් කිරීමෙන් පසු නීතිපති තුමා විසින් අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිතව සිදුකරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සිදුවන බව අවධාරණයෙන් ප්‍රකාශ කළේය.   


මේ පොලිස්පතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කළ විශේෂ ප්‍රකාශයයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පොලිස්පතිගේ විශේෂ ප්‍රකාශය

2019 වර්ෂයේ පාස්කු ඉරුදින සිදු වූ නින්දිත, කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදුකරන විමර්ශන පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන්, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධව සහ එම විමර්ශන අවසන් කර නඩු පැවරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවට සමාජය තුළ විවිධ මතවාදයන් ගොඩ නැගී ඇති බව සහ විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරන බව පසුගිය දිනවලදී දකින්නට ලැබුනා .

මෙම විමර්ශන කටයුතු අධීක්‍ෂණය කරනු ලබන අවසානාත්මක නිලධාරියා වශයෙන් සහ වර්ථමාන පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කර මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මිය ගිය අයගේ ඥාතීන්, තුවාල ලැබූවන් සහ පීඩාවට පත් වූ සියලු දෙනා වෙත මෙන්ම මෙම සිදුවීම සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන් වෙත සත්‍ය සහ සිදුවන විමර්ශනයට අගතියක් නොවන ලෙසට හෙලිදරව් කළ හැකි තොරතුරු ප්‍රකාශ කිරීම මාගේ යුතුකමක් හා වගකීමක් වශයෙන් සලකා මෙම ප්‍රකාශය කිරීමට තීරණය කලා.

මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදු කරන්නක් බැවින් ඒ සම්බන්ධ තොරතුරු මහජනතාව වෙත එනයින්ම හෙළි කිරීම අධිකරණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් විමර්ශනයන්ට අදාළව සම්පූර්ණ තොරතුරු මහජනතාව වෙත අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

2019 වර්ෂයේ පාස්කු ඉරිදා දිනයේ දී සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධයක් නොවන බවත්, එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී එය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනී යයි. එනම්,

  1. 03.10 දින හෝ ආසන්න දිනයක සහරාන් විසින් ඔවුන්ගේ මතයට විරුද්ධව ක්‍රියාකළ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි වල යාඥා කරන තැනැත්තන්ට එරෙහිව පහරදීම් සිදු කිරීම
  2. 02.06 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවසකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම
  3. 02.12 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලන කාර්යාලයකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම
  4. 05.07 දින හෝ ආසන්න දිනයක නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම පිළිබඳව කරන ලද විමර්ශනය
  5. 08.26 දින හෝ ආසන්න දිනයක පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු වූ බවට සැක කළ හැකි තුවාල සහිතව රිල්වාන් නමැති අයෙකු ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බවට වූ වාර්තා පිළිබඳව සිදුකළ විමර්ශනය
  6. 11.30 දින හෝ ආසන්න දිනයක මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ගිනි අවි පැහැර ගැනීම
  7. 12.25 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කිහිපයකට හානි සිදු කිරීම
  8. 01.16 දින හෝ ආසන්න දිනයක පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත්වීම
  9. 03.09 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේ දී තස්ලිම් යන අයට වෙඩි තබා තුවාල කිරීම
  10. 04.16 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි – පාලමුණේ ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරවා හැරීම

මෙම සිද්ධි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙන්ම විවිධ පොලිස් ස්ථාන මට්ටමින් සිදු කර තිබුනේ ඒවා එකිනෙකට හුදෙකලා සිද්ධීන් ලෙස සලකා මතු පිටින් පෙනෙන කරුණු වලට පමණක් සීමා වෙමින් ය. මෙම සියලු සිද්ධීන් ගැඹුරින් අධ්‍යයනය කර ඒ සඳහා නිපුණත්වය ඇති එක් ආයතනයක අධීක්‍ෂණය යටතේ සියුම් ලෙස විමර්ශන සිදු කර තිබුනේ ද නැහැ.

එසේම මෙම සිද්ධිවලට අදාළ විමර්ශන සිදුකරන අංශ හෝ බුද්ධි තොරතුරු රැස්කරන අංශ විසින් වෙන් වෙන්ව හා හුදෙකලා ලෙස විමර්ශන කළ ද බුද්ධි අංශ වලට සහ ත්‍රස්ත මර්ධන හා අනෙකුත් විමර්ශන කොට්ඨාසයන් වෙත ලැබී තිබුණු තොරතුරු නිසියාකාරව විශ්ලේෂණය කර, හුවමාරු කර ගනිමින් නිසි සම්බන්ධීකරණයක් නොපැවැත්වීම නිසා මෙම සිදුවීම් අතර තිබූ සම්බන්ධතාවයන් අනාවරණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී තිබුනා.

එම නිසා එම සිද්ධීන් රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන බරපතල ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාවන් බව අවබෝධ කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී තිබුණා.

එසේම පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ද මුල් අවස්ථාවේදී විමර්ශනය සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ අතර නිසි සම්බන්ධීකරණයක් සිදු නොවුනු අතර, එක් අංශයකින් සියලු සිද්ධීන් ගැඹුරින් විමර්ශනය සිදු කර නොතිබිනි.

එසේම අදාළ සැකකරුවන් කෙටි කලක් තුලදී සොයා ගෙන විමර්ශනය කඩිනමින් අවසන් කිරීමේ අරමුණෙන් විමර්ශන සිදු කිරීම මත එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයන් විසින් එම අපරාධ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කර නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට ද අපොහොසත් වී තිබුනා.

ඒ අනුව ඔවුන් විසින් එම අපරාධ සිදුකළ තැනැත්තන් බොහොමයක් මිය ගොස් ඇති බව සහ ඊට ඍජුවම අනුබල දුන් තැනැත්තන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සහ අපරාධයට සම්බන්ධ දේපළ සියල්ල භාරයට ගෙන ඇති බව තීරණය කර ඒ සම්බන්ධ විමර්ශන අවසන් කිරීම සඳහා උත්සුක වී තිබුනා.

එමෙන්ම ISIS මතවාදය දරණ පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටින බවට පෙන්වාදීම සඳහා ස්වේච්ඡාවෙන් සංවිධානය වූ කුඩා කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදුකළ බවටත්, ඒ සඳහා විදේශීය සම්බන්ධතා හෝ මෙම පිරිස පිටුපස සංවිධානාත්මක ජාලයක් නොමැති බවටත් විමර්ශකයන් විසින් පූර්ව නිගමනය කර, විමර්ශන සිදු කිරීම හේතුවෙන් නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශකයන්ගේ අවධානය යොමු නොවීය.

විශේෂයෙන්ම සහරාන් මෙම අපරාධ කණ්ඩායමේ නායකයා බවත්, ඔහු මෙම අපරාධය සමගම ඔහුගේ ජාලය විනාශ වී හෝ ඉතිරි සාමාජිකයන් සියල්ල අත්අඩංගුවට ගෙන ඇති බවත් තහවුරු කිරීම සඳහා එම විමර්ශන යොමු වී තිබුනා.

ස්වයංව අභිප්‍රේරණය වූ අන්තවාදී මත දරණ කුඩා කණ්ඩායමක් එක් වී ඔවුන්ගේ මතවාදය අනුගමනය කිරීමට අනෙක් අයවලුන්ට ආදර්ශයක් ලබාදීම සඳහා මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සිදුකර එම කණ්ඩායමේ නායකයා ද ඇතුළුව එම සියලු පිරිස් ස්වයං ඝාතනයකට ලක්වීමෙන් පසු ඔවුන් සමාජය වෙත ලබාදීමට තැත් කළ මතවාදය ඉදිරියට ගෙන යාමට වෙනත් පිරිස් ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන් පෙන්වීමට උත්සාහ කළ ක්‍රමවේදය ද ඒ සමගම අවසන් වන්නේ ද යන ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් ලබාදීමට විමර්ශකයන් අපොහොසත් වුනා.

එලෙස විමර්ශන සිදුකරමින් පවතින අවධිය වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව වෙනමම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටි අතර, මෙම විමර්ශන මෙහෙයවීම හා අධීක්‍ෂණය ඔහු විසින් සිදුකරනු ලැබුවා.

වර්ථමාන අතිගරු ජනාධිපති තුමා, එම ධූරයට තේරී පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වගකිව යුතු කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා මා හට අධිකාරී බලය සහ නිදහස ලබා දුන්නා.

ඒ අනුව මාගේ මෙහෙය වීම හා අධීක්‍ෂණය යටතේ මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කරමින්, මූලිකව එතෙක් සිදුකර ඇති විමර්ශන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ශ්‍රී ලංකා පොලිසියේ වෙනත් විමර්ශන ඒකක සහ පොලිස් බුද්ධි අංශ ප්‍රතිව්‍යූහගත කර නව නිලධරයන් අනුයුක්ත කිරීමට කටයුතු කරනු ලැබුවා.

එසේම මෙම විමර්ශන වල හඳුනාගත් අඩුපාඩු සහ අවධානය යොමු නොකළ පැතිකඩ පිළිබඳව සහ විමර්ශන කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව අවශ්‍ය උපදෙස් මා විසින් නියෝජ්‍ය පොලිස්පති / අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කළා.

එසේම ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති දෛනිකව විමර්ශන කණ්ඩායම් වල ප්‍රගතිය සාකච්ඡා කරමින් විශ්ලේෂණය කර, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම්, බුද්ධි අංශ නිලධරයන් සහ නීති අංශ නිලධරයන් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කරනු ලැබුවා.

මුලින්ම මෙම විමර්ශන ආරම්භ කළ කණ්ඩායම් දුරකථන විශ්ලේෂණය සිදුකර තිබුනේ පාස්කු ප්‍රහාරයට පෙර මාස 04 ක පමණ කෙටි කාලයක් සඳහා පමණයි. නමුත් නව විමර්ශන කණ්ඩායම විසින් 2014.06.29 දින සිට පාස්කු ප්‍රහාරය දක්වා සහ එයට පසු කාලය සඳහා ද දුරකතන විශ්ලේෂණ සිදු කරනු ලබනවා.

ඒ අනුව 2019 වර්ෂයේ සිදු වූ ප්‍රහාර මාලාව මෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ මතවාදය කවර දිනෙක, කවර කාලයක, කෙසේ ආරම්භ වූයේ ද යන්න සහ ඉන්පසු එය වර්ධනය වූ ආකාරය සම්බන්ධව සිදු වූ සිද්ධීන් සහ සැකකටයුතු තැනැත්තන්ගේ දුරකථන සම්බන්ධතා විශ්ලේෂණය කිරීම ඇතුළුව විමර්ශනයකදී අවධානය යොමුකළ යුතු සියලුම තාක්‍ෂණික කරුණු හා බුද්ධි තොරතුරු ආදිය ප්‍රයෝජනයට ගනිමින් සහ රහසිගතභාවය ද ආරක්‍ෂා කර ගනිමින් ගැඹුරු විමර්ශනයක් සිදු කිරීම ආරම්භ වුනා. එසේම විමර්ශන වලට උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ද ලබා ගැනීමට කටයුතු කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර වූ සිදුවීම් සියල්ල එකිනෙකට හුදෙකලා නොවන බව පෙනී ගිය අතර, මෙම ප්‍රහාර මාලාව සිදු කිරීම සඳහා අන්තවාදී මතවාදයන් පැතිර වූ දේශීය හා විදේශීය පුද්ගලයන්, මුදල් ආධාර සැපයූ පුද්ගලයන්, දේශීය හා විදේශීය පුහුණුවීම් සඳහා ස්ථාන හා පහසුකම් සැපයූ පුද්ගලයන්, දේශපාලන බලතල පාවිච්චි කර මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ අනාගතයේ මෙම මතවාදය වර්ධනය කර ගැනීම සඳහා පිරිස්, මානසික වශයෙන් හැඩ ගැස්වීම් ක්‍රමවේදයන් සකස් කළ බුද්ධිමතුන් රැසක් හෙළිදරව් කර ගැනීමට හැකියාව ලැබුනා.

එහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ මෙම ත්‍රස්තවාදී ජාලය විසින් ඔවුන්ගේ අනාගත ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ළමුන් ඇතුළු දෙවන පෙළ කණ්ඩායමක් මානසික ලෙස පුහුණු කිරීමට සැලසුම් කර ඔවුන්ට අන්තවාදී මතවාද ඉගැන්වීමට පවා කටයුතු කර තිබූ බවත්, ස්වයං ඝාතනයට ලක් වූ මෙම සහරාන් ඇතුළු පිරිස මෙම ත්‍රස්තවාදී ජාලයෙහි එක් කුඩා කණ්ඩායමක් පමණක් බවයි.

ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරය සඳහා ඍජුව මෙන්ම වක්‍රව දායක වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතරම, මෙයට සම්බන්ධ විදේශගතව සිටින තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

එසේම අනාගතයේ දී ඉහත ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වීමට තිබූ දැඩි අවදානම් තත්ත්වය පහ කිරීමට හැකියාව ලැබුනු නමුත්, ස්ථිර වශයෙන් එවැනි ප්‍රහාරයක් ඇති නොවීම සඳහා කටයුතු කිරීමට අඛණ්ඩව බුද්ධි හා අපරාධ විමර්ශන කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. මෙය ඉතාමත් සංකීර්ණ සහ සියුම් ලෙස සිදු කළ යුතු කර්තව්‍යයක්.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමේ දී එම ක්‍රියාකාරකම් වලට සම්බන්ධ තැනැත්තන් දේශීයව සිටිමින් එම අපරාධ සිදු කරන ලද බැවින් එම විමර්ශන සිදු කිරීමේ දී විදේශීය ආයතන හා සම්බන්ධ වීමට සිදු වූයේ ඉතා ස්වල්ප වශයෙනි.

එසේ වුව ද පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී සැකකරුවන් පිරිසක් විදේශ රටවල සිට මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සහ අරමුදල් සපයාදීම සිදු කිරීම හේතුවෙන් මෙම අපරාධ විමර්ශනයේදී ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ද සිදු වී තිබෙනවා. මෙහිදී අපරාධ සම්බන්ධ කාරණා වලදී රටවල් අතර අන්නෝන්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා තිබෙන නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම හා ද්විපාර්ශවික ගිවිසුම් මත රටවල් සමග ගනුදෙනු කිරීමට සිදුවීම හේතුවෙන් මෙම විමර්ශන තවදුරටත් සංකීර්ණ බවට පත් වී තිබෙනවා.

මෙම විමර්ශන වල සංකීර්ණ භාවය හේතුවෙන් නීතිපති තුමාට මා විසින් ලිපියක් යොමු කරමින්, සිදුකරනු ලබන විමර්ශන සඳහා නීතිමය උපදෙස් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත්කරන ලෙස ඉල්ලා සිටියා. නීතිපති තුමා විසින් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරනු ලැබුවා. එම නිලධාරීන් කණ්ඩායම පොලිස් විමර්ශන කණ්ඩායම් හා සම්බන්ධ වී නිරන්තරයෙන් නීතිමය උපදෙස් ලබාදීම මේ වන විටත් සිදුකරමින් පවතිනවා.

නව නිලධරයන් යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කළාට පසුව, ඒ වන විට අවසන් කළ යුතු බවට නිගමනය කර තිබූ විමර්ශන නැවතත් පුළුල් ලෙස විමර්ශනය සිදුකළ අතර මෙම සමස්ථ විමර්ශනයේ දී,

ඒ අනුව රුපියල් මිලියන 365 ක් පමණ වටිනා මුදල්, චංචල හා නිශ්චල දේපළ මේවන විට රාජසන්තක කර ඇති අතර, රුපියල් මිලියන 168 ක් පමණ වටිනා මුදල් හා දේපළ තහනමටද ගෙන තිබෙනවා.

මෙම ත්‍රස්තවාදී සිද්ධි ජාලයට අදාළව විමර්ශන අවසන් කර, පාස්කු දින සිදු වූ ප්‍රහාර සිද්ධීන් අටට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩුව ද ඇතුළුව මේවන විට මහාධිකරණය ඉදිරියේ අධි චෝදනාපත්‍ර 11ක් විත්තිකරුවන් 46කට එරෙහිව නීතිපති තුමා විසින් ගොනු කර තිබෙනවා.

තවද පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ගොනු 100 කට අධික ප්‍රමාණයක් විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව නීතිපති තුමා වෙත යොමු කළ අතර, එම විමර්ශන වලට අදාළව අධි චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ගොනු අධ්‍යයනය කිරීම් මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට අදාළව වෙළුම්     104 ක් යොමු කර තිබෙන අතර, එම වෙලුම් පිටු 52,000 කින් සමන්විත වීමෙන්ම මෙම විමර්ශන වල සංකීර්ණ භාවය පෙන්නුම් කරනවා.

මේ හැරුණු විට පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ නොවූවත්, ඒ සඳහා පසුබිම සකස් කළ යමෙකු සිටීද යන්න සම්බන්ධව තොරතුරු සොයා ගැනීම සඳහා තවත් විමර්ශන සිදුවෙමින් පවතින අතර, ඒවායේ විමර්ශන තවම අවසන් වී නැහැ.

මෙම පාස්කු ප්‍රහාරයට ඉවහල් වූ මතවාදය රට තුළ ව්‍යාප්ත කිරීමට හා එයට සම්බන්ධිත සිද්ධි මාලාවට අදාළව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් අතර උගතුන්, බුද්ධිමතුන්, විවිධ වෘත්තිකයන් සහ සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් ද සිටිනවා.

ඒ අනුව විමර්ශනයේ සුළු අඩුපාඩුවක් වුව ද ඔවුන්ගේ වාසියට හේතු විය හැකි බැවින් මෙම සියලු විමර්ශන ඉතාම රහසිගතව අවසන් අදියර තෙක් සිදු කිරීමට සිදුවන බව අවධාරණය කරනවා.

තවත් වැදගත් කරුණක් වෙන්නේ මේ විමර්ශනය අප සිදු කරන්නේ හුදෙක්ම එම සිද්ධිවලට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන විමර්ශන කටයුතු අවසන් කිරීමේ පරමාර්ථයෙන් පමණක් නොවෙයි.

අනාගතයේ මෙවැනි සිදුවීම් වැලැක්වීම සඳහා මෙම සිද්ධි දාමයට මූලිකව හේතු වූ මූල බීජයන් සොයා බැලීමත්, අනාගතයේ කුමන හෝ පුද්ගලයන් මෙවැනි ත්‍රස්ත ක්‍රියා හෝ එවැනි මතවාදය සඳහා යොමු වන්නේද යන්න අඛණ්ඩව සොයා බැලීමත් මෙම විමර්ශනයේ අරමුණක් වනවා.

කිසියම් හේතු මත කිසියම් දිනෙකදී එම විමර්ශන අවසන් බවට තීරණය කළහොත් ඉන් සිදුවන්නේ පෙර සිදු වූ අඩුපාඩු නැවත ඇති විය හැකි තත්ත්වයක් උදා වී අන්තවාදී මත දරණ ත්‍රස්තවාදී කොටස් බිහි වීමට ඉඩ තිබීමයි. එබැවින් මෙයට අදාළ අපරාධ හා බුද්ධි විමර්ශන අඛණ්ඩවම ඉදිරියට පත්වාගෙන යා යුතු වෙනවා.

වර්ථමාන සමාජයේ විවිධ පුද්ගලයන් නොයෙකුත් මාධ්‍ය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධියට හා එයට අදාළව විමර්ශන සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කිරීමක් සිදු කරනවා.

උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නේ නම්, යම් කාලසීමාවක් තුළ විමර්ශන අවසන් විය යුතු බවට සහ ඔවුන් නම් කරන තැනැත්තන් හෝ කණ්ඩායම් මෙම අපරාධ සැලසුම් කළ, මෙහෙය වූ හෝ සිදුකළ බවට විවිධ මත හා සමීක්‍ෂණ ප්‍රතිඵල මගින් ඉදිරිපත් කරනවා. එසේම ඔවුන් පෙන්වාදෙන කාලසීමාවන් වලදී මෙම ප්‍රහාරයන් සිදු කළ බවට ද විවිධ තර්ක ඉදිරිපත් කරනවා.

විමර්ශන කණ්ඩායම් වල එක් ක්‍රමවේදයක් වූයේ තම අවධානයට ලක් නොවූ කරුණු බොහොමයක් ඇති බව උපකල්පනය කරමින් විවෘත මනසකින් යුක්තව විමර්ශන කටයුතු සිදු කිරීමයි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන් ඇති කළ මත හෝ තර්ක සත්‍ය බවට තහවුරු වනතෙක් හෝ ඒවා සත්‍යයෙන් තොර හෝ පදනමකින් තොර හුදු ප්‍රකාශ බවට ඔප්පු වනතෙක් එම කරුණු සම්බන්ධයෙන් ද විමර්ශනය කරනු ලැබූ බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.

තව ද මේ දක්වා විවිධ පාර්ශව විසින් සිදුකර තිබෙන ප්‍රකාශ හා මත වල අඩංගු කරුණු ගැඹුරින් විමර්ශනයට ලක්කර ඇති නමුත් ඒ සියලු ප්‍රකාශ, මත හා තර්කයන් සත්‍යයෙන් තොර හා පදනමකින් තොර හුදු ප්‍රකාශ පමණක් බවට තහවුරු වුනා.

ලංකාවේ පවත්නා නීතිය අනුව හුදු මතයක් අධිකරණය වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. ඒ පිළිබඳව විමර්ශන සිදුකළ යුතු අතර, කරුණු සහිතව අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට එය ඔප්පු කිරීම අවශ්‍ය වෙනවා. එබැවින් මෙවැනි මත හෝ තර්ක ඉදිරිපත් කරන අයවලුන්ට මා කියා සිටින්නේ, අධිකරණයේ නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සඳහා අදාළ කරගත හැකි කරුණු පමණක් ඉදිරිපත් කරන ලෙසත්, පුද්ගලික ප්‍රසිද්ධියක් හෝ තාවකාලික ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා මෙවැනි හිස්, පදනම් විරහිත මත හා තර්ක ඉදිරිපත් නොකරන ලෙසයි.

පොලිසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අදහස් ප්‍රකාශ කිරීමට මහජනයාට තිබෙන අයිතියට ගරු කරන අතර, එවැනි අදහස් විවේචනයට ලක් කිරීමට හෝ එම අදහස් හෑල්ලුවට ලක් කිරීමට අප කිසි විටෙකත් ක්‍රියා කරන්නේ නැහැ.

එසේ වුවද විමර්ශන අවසන් කිරීමෙන් පසු නීතිපති තුමා විසින් අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිතව සිදුකරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සිදුවීමේ අවදානමක් ඇති විය හැකි බව මෙවන් පිරිස් වල සැලකිල්ලට යොමු කිරීමට කැමතියි.

එබැවින් මෙම පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙක් සතුව එය තහවුරු කළ හැකි කරුණු තිබෙනවා නම්, එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රථම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ එම තොරතුරු ඉදිරිපත් කරන ලෙසට හෝ එසේත් නැතිනම් එම කරුණු දන්නා තැනැත්තන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර හෝ එම කරුණු ඉදිරිපත් කරන ලෙසට පොලිස්පති වශයෙන් විවෘත ආරාධනයක් කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගනු ලබනවා.

මෙම සියලු විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂාවට සහ උපදෙස්වලට යටත්ව සිදුවන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන අතර, නිරන්තරයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම මෙන්ම, සිදු කරන විමර්ශන පිළිබඳ ප්‍රගතිය වරින් වර අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත වාර්තා කිරීම ද සිදු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

මුල් කාලීනව මෙම පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ විමර්ශන වල ඇතැම් පරිපාලන අඩුපාඩු සහ විමර්ශන දුර්වලතා තිබී ඇති බව පෙනී යනවා. විවිධ පරිපාලන ධූරයන්ට පත් වූ නිලධරයන් එම ධූරයෙන් බලාපොරොත්තු වූ කාර්යයන් අමතක කර, වගකීම් විරහිතව කටයුතු කිරීමත්, ඇතැම් නිලධරයන් විමර්ශන සම්බන්ධව පරිනත බවට තමා විසින් අධි තක්සේරු කර ගනිමින්, තමන් විසින් ආරූඨ කර ගත් ප්‍රතිරූපයන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් විමර්ශන ගැඹුරින් සිදු නොකර කෙටි කාලයකදී විසඳා අවසන් කළ බවට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සුකවීම, මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන වලට අගතිදායී ලෙස බලපා තිබුනා.

පාස්කු ප්‍රහාරයට අදාළව වගකිව යුතු එවන් නිලධරයන් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාව ගරු නීතිපති තුමා වෙත යොමු කර තිබෙනවා.

විවිධ පාර්ශවයන් මගින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නගන දෝෂ දර්ශන, මතයන් හෝ සමාජ සමීක්‍ෂණ මගින් හෝ කාලසීමාවන් පැනවීම මගින් හෝ ඔවුන් බලාපොරොත්තු වන හෝ පෙන්වා දෙන කරුණු තහවුරු කර ගැනීමක් සඳහා වර්ථමානයේ මෙම විමර්ශන කණ්ඩායම් මෙහෙයවීම හෝ යොදා ගැනීමක් ද සිදු නොකරන බව අවධාරණය කරමි.

මෙවැනි අන්දමේ කුමන පීඩාකාරී තත්ත්වයන් යටතේ වුවද විමර්ශන කණ්ඩායම් තම වෘත්තීමයභාවය ඉතා උසස් ලෙස පවත්වාගෙන යමින් ශක්තිමත් නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සඳහා විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද සඳහන් කරමි.

දළඳා මාළිගාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කටයුතු පවත්වා අවසන් කර නඩු පැවරීම සඳහා වසර 04 ක කාලයකුත්, අකුරැස්ස – ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවති උත්සවයකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව විමර්ශන කටයුතු පවත්වා අවසන් කර නඩු පැවරීම සඳහා වසර 07 ක කාලයකුත් ගත වුනා.

එම විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් කාලසීමාවන් පෙන්වා දෙමින් විමර්ශන කටයුතු සඳහා කිසිදු බලපෑමක් සිදු නොකළ අතර, විමර්ශන කණ්ඩායම් තම වෘත්තීමයභාවය මත එම විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුකර අධිකරණය ඉදිරියේ සැකකරුවන් වරදකරුවන් බවට පත් කිරීමේ ක්‍රියාවලියට දායක වුනා.

එසේ ම ලෝකයේ විවිධ රටවල් වලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ නඩු පැවරීමට කොපමණ කාලයක් ගත වී තිබේ දැයි අන්තර්ජාලය පරිශීලනය කර ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි බව ද ප්‍රකාශ කර සිටිමි.

මෙම පාස්කු ප්‍රහාරයට අදාළව වසර දෙකක් වැනි කාලයක් තුළ අධිචෝදනා 11 ක් ගොනු කිරීමට හැකියාව ලැබීම තුලින් මෙම විමර්ශන කණ්ඩායම්වල වෘත්තීමයභාවයත්, විමර්ශන වල සාර්ථකත්වයත් පිළිබඳව ඔබට අදහසක් ලබා ගත හැකි යැයි මා විශ්වාස කරනවා.

මා අසා තිබෙනවා, කතෝලික භක්තිකයන් අනුගමනය කරන ප්‍රධාන එක් ප්‍රතිපත්තියක් සම්බන්ධව. එනම්, “නුඹේ එක් කම්මුලකට ගසන්නාට අනිකත් හරවාපන්න ; නුඹේ උතුරුසළුව උදුරා ගන්නාගෙන් අඳනා රෙද්දත් වලක්වා නොගන්න”.

එසේ නම් මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයකට හසු වී ඝාතනයට ලක් වූ තම ඥාති මිත්‍රාදීන් වෙත ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ද යන්න පිළිබඳව කතෝලික ජනතාව වෙත ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගිය හැකි වුවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වශයෙන් රටේ පවතින නීති පද්ධතියට අනුව අප ක්‍රියා කරන බවත්, මෙම මිලේච්ඡ අපරාධය සිදුකළ හා ආධාර අනුබල දුන් සියලු තැනැත්තන් අධිකරණයෙන් වැරදිකරු වී දඬුවම් ලැබීම අපගේ ද අපේක්‍ෂාව බවත් මේ අවස්ථාවේ දී පෙන්වාදීමට කැමතියි.

පොලිස්පති වශයෙන් මා කියා සිටින්නේ මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා අපරාධ නීති පද්ධතියට අනුව එම වරද හෝ වැරදි සිදුකළ, සහාය දුන්, අනුබල දුන්, කුමන්ත්‍රණය කළ, පහසුකම් සැලසූ සියලු පුද්ගලයන්ගේ තරාතිරම නොබලා, ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිය පසිඳලීම සඳහා ශක්තිමත් නීති කෘත්‍යයක් පවත්වාගෙන යාමට අවශ්‍ය අංග සම්පූර්ණ විමර්ශනයක් අවම කාලයක් තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කළ යුතු අතර, එය අපගේ කාර්යයක් හා වගකීමක් වනවා.

එය එසේ සිදු කිරීමෙන් පමණක් මිය ගිය අයවලුන්ට ශාන්තියත්, ජීවත්ව සිටින වින්දිත පාර්ශවයන්ට යුක්තියත් ඉටු වන බව මා විශ්වාස කරනවා.

තව ද මෙම විමර්ශන සඳහා මා වෙත හෝ මාගේ විමර්ශන කණ්ඩායම් වෙත කිසිදු බාහිර බලපෑමක් සිදුවී නොමැති බවත්, එවැනි බලපෑමක් සිදු කිරීම සඳහා මා විසින් ඉඩ නොදෙන බවත්, කිසිදු බලපෑමකට මා හෝ විමර්ශන කණ්ඩායම් යටත් නොවන බවත්, විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතියි.

එබැවින් මෙම විමර්ශන කටයුතු වල අවසානයේදී පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ, එසේම ඒ සඳහා ආධාර අනුබල දුන්, සහාය දුන් හා පෙළඹවීම් සිදුකළ සෑම දෙනාටම එරෙහිව ගරු අධිකරණය හරහා නීතිය පසිඳලමින් සාධාරණත්වය අවම කාලයක් තුල ඉටු කිරීමට අවශ්‍ය සියලු විමර්ශන සහ එයට අදාළ අනෙකුත් කර්තව්‍යයන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන බව ප්‍රකාශ කර සිටිනවා.

ස්තුතියි !

සී.ඩී. වික්‍රමරත්න

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස්පති

Exit mobile version