කපිල කේ. හීනටියන –
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතා දැඩි ලෙස පළුදු වෙමින් පවතින පසුබිමක, ඉරානයට එරෙහිව එල්ල කළ හැකි විවිධ හමුදා ප්‍රහාරක විකල්ප පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කර ඇති බව ‘Axios’ වෙබ් අඩවිය වාර්තා කරයි.
Axios යනු 2017 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද, ලොව පුරා ඉහළ පිළිගැනීමක් සහිත ඩිජිටල් පුවත් ආයතනයකි. Politico පුවත්පතේ හිටපු මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින් ආරම්භ කරනු ලැබූ මෙම වෙබ් අඩවිය ධවල මන්දිරය සහ ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලය තුළ සිදුවන රහසිගත තොරතුරු මෙන්ම ඉහළ පෙළේ දේශපාලන තීරණ පිළිබඳව කල්තියා විශ්වාසනීය තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ආයතනය ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්රයේ විශාල කීර්තියක් දිනා ඇති ආයතනයකි.

Axios වාර්තාවට අනුව, අතිශය ආන්දෝලනාත්මක කරුණක් වන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේණි සහ ඔහුගේ පුත් මෙන්ම අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන මුජ්තබා කමේණි ඉලක්ක කරගනිමින් මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබීමය.
පරිපාලනයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පළවන මෙම වාර්තාව මගින් අවධාරණය කරන්නේ, දෙරට අතර පවතින න්‍යෂ්ටික සාකච්ඡා අවදානම් සහගත මට්ටමක පවතින බවත් මැද පෙරදිග කලාපය තුළ යුදමය තත්ත්වයක භීතිය වර්ධනය වෙමින් පවතින බවත්ය.
කෙසේ වෙතත්, මෙම පුවත විවිධ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, මෙය තවමත් සත්‍යාපනය නොකල ආරංචි මාර්ග මත පදනම් වූවක් බව සඳහන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ පෙන්ටගනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බැවින්, මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

න්‍යෂ්ටික අර්බුදය සහ පුපුරා යා හැකි මට්ටමක පවතින උණුසුම
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය වසර ගණනාවක සිට පැවත එන්නකි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ, කලාපීය සන්නද්ධ කණ්ඩායම් හරහා ඉරානය විසින් අවුලවමින් ඇති ගැටුම් සහ ඇමරිකාව පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක මීට මූලික වී ඇත.
ට්‍රම්ප් පරිපාලනය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා දැඩි පිළිවෙතකි. ඕනෑම රාජ්‍යතාන්ත්‍රික එකඟතාවකට පෙර ඉරානය සිය භූමිය තුළ සිදුකරන යුරේනියම් බලගැන්වීම (Uranium Enrichment) “බිංදුව දක්වා” නතර කළ යුතු බවට ඇමරිකාව කොන්දේසි පනවා තිබේ.
මෑතකදී ඉරානය තුළ ඇති වූ ආර්ථික අර්බුදය සහ දේශපාලන මර්දනයට එරෙහිව පැනනැඟුණු විරෝධතා මෙම තත්ත්වය තවත් දරුණු කිරීමට හේතු විය. ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම මෙම විරෝධතාකරුවන්ට සිය සහය පළ කළ අතර, ඉරාන රජය ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කළහොත් ඒ සඳහා බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය.
තත්ත්වය සමනය කර ගැනීම සඳහා මෙම සතිය මුලදී ජිනීවා නුවරදී න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වුණද, ඉන් ලැබී ඇති ප්‍රගතිය ඉතා සීමිත බව පෙනී ගොස් ඇත. ඇමරිකානු බලධාරීන් ඉරානයට දින 10 ත් 15 ත් අතර සහන කාලයක් ලබා දී ඇති අතර, එම කාලය තුළ ඉරානය සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් දැඩි හමුදාමය ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වන බවට ඇමරිකාව ඉඟි පළ කර ඇත.

ඉලක්කය ‘නායකත්වය’ ද? ට්‍රම්ප්ගේ මේසය මත ඇති යුද සැලසුම්
ඉරානය සමඟ පවතින මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, “සමහරවිට අපට එකඟතාවයකට පැමිණීමට හැකි වේවි. ඉදිරි දින 10 ඇතුළත ඔබට ඒ ගැන දැනගන්නට ලැබේවි” යනුවෙනි. එහෙත් එම ප්‍රකාශයත් සමඟම ඇමරිකාව මැදපෙරදිග කලාපයේ සිය හමුදා ශක්තිය ඉහළ නංවමින්, ‘USS Gerald R. Ford’ වැනි දැවැන්ත ගුවන්යානා ප්‍රවාහන නෞකා මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබීම විශේෂත්වයකි.
Axios වාර්තා කරන පරිදි, 2026 පෙබරවාරි 18 වන දින ට්‍රම්ප් සිය ඉහළ පෙළේ උපදේශකයින් සමඟ රහසිගත රැස්වීමක් පවත්වා ඇත. එහිදී පෙන්ටගනය විසින් ඉදිරිපත් කරන ලද විකල්ප අතර, ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාරවල සිට පාලන තන්ත්රය අස්ථාවර කරන අතිශය දැඩි ක්‍රියාමාර්ග දක්වා විහිදුණු සැලසුම් තිබූ බව සඳහන් වේ.
මෙහි වඩාත්ම ආන්දෝලනාත්මක විකල්පය වන්නේ “ඉරාන උත්තරීතර නායකයා, ඔහුගේ පුත්‍රයා සහ ප්‍රධාන ආගමික නායකයින් ඉලක්ක කරගත් මෙහෙයුමයි.” ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු උපුටා දක්වමින් Axios මෙම සැලසුම විස්තර කර තිබුණේ “නායකත්වය තුරන් කිරීමේ” සැලසුමක් ලෙසය. මෙහි අරමුණ වන්නේ කමේණි ඇතුළු පිරිස ඝාතනය කිරීම හෝ අත්අඩංගුවට ගැනීම හරහා ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමයි.
දැවැන්ත යුද්ධයක පෙරනිමිති?
Reuters සහ Wall Street Journal මාධ්‍ය ආයතන ද තහවුරු කරන්නේ මූලික වශයෙන් ඉරානයට බලපෑම් කිරීමට සීමිත ප්‍රහාර එල්ල කළ හැකි නමුත්, ඉරානය යටත් නොවන්නේ නම් එය දරුණු මට්ටමකට වර්ධනය විය හැකි බවය.
මේ සම්බන්ධව ඇමරිකානු බලධාරියෙකු Axios වෙත පවසා ඇත්තේ මෙය සැබවින්ම ක්‍රියාත්මක වුවහොත් එය දිනක හෝ දෙකක මෙහෙයුමක් නොව, සති ගණනාවක් පුරා ඇදී යන පූර්ණ පරිමාණයේ යුද්ධයක් විය හැකි බවය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ සවුදි අරාබිය වැනි මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බැවින් ට්‍රම්ප් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැත.
මෙම පුවත X (පෙර Twitter) ජාලය හරහා ලැව්ගින්නක් සේ පැතිර ගොස් ඇත. ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මිලියන 90 ක ජනගහනයක් සහිත ස්වෛරී රාජ්‍යයක නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙවැනි “ඝාතන සැලසුම්” (Decapitation strikes) විවෘතව සාකච්ඡා කිරීම අතිශය බරපතල තත්ත්වයක් බවයි.

“අපේ නායකයාට අත තිබ්බොත් එය පූර්ණ යුද්ධයක්!” – ඉරානයෙන් රතු නිවේදනයක්:
ඇමරිකානු සැලසුම් පිළිබඳ වාර්තා පළවීමත් සමඟ ඉරාන නායකත්වය දැඩි ස්ථාවරයක සිටිමින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සිය X ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළේ, “අපේ රටේ උත්තරීතර නායකයාට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් ඉරාන ජාතිය සමඟ කරන පූර්ණ පරිමාණයේ යුද්ධයක් ලෙස සලකන” බවයි.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේණි ද මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, පාලන තන්ත්රය පෙරළීමට ඇමරිකාව දරන උත්සාහයන් අසාර්ථක වන බවයි. “ඇමරිකානු යුද නැව්වලට වඩා භයානක වන්නේ එම නැව් මුහුදු පත්ලටම ගිල්වා දැමිය හැකි ආයුධයි,” යනුවෙන් ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ “උපරිම පීඩනය” යටතේ සෘජු සාකච්ඡාවලට තමන් සූදානම් නැති වුවද, ඕමානය වැනි රටවල් හරහා වක්‍ර සාකච්ඡාවලට තම දොරටු විවෘතව පවතින බවයි.

විශ්වාසනීයත්වය සහ ගෝලීය බලපෑම
මෙම පුවතේ සත්‍යතාව පිළිබඳව විමසීමේදී වැදගත් කරුණු ගණනාවක් තිබේ. Axios යනු මෙවැනි රහසිගත තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ප්‍රකට ආයතනයකි. ඔවුන්ගේ වාර්තාව India Today, Reuters සහ The Wall Street Journal වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන ද උපුටා දක්වා තිබීම මෙහි බරපතලකම තහවුරු කරයි. තවමත් ධවල මන්දිරය විසින් මෙය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති වීමත්, කලාපය තුළ ඇමරිකානු හමුදා ශක්තිය වර්ධනය කිරීමත් නිසා මෙම පුවත හුදු කටකතාවකට එහා ගිය සූදානමක් ලෙස සැලකිය හැකිය.
අප ලෝකයක් ලෙස අවබෝධ කරගත යුතු වන්නේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුවහොත් එය නිසැකවම ට්‍රම්ප් සිය සීමාව ඉක්මවා යෑමක් ලෙස චීනය, සෝවියට් රුසියාව ඇතුළු කඳවුර තීන්දුකරනු ඇති බවය. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේණි හෝ ඔහුගේ පුත් මුජ්තබා ඉලක්ක කරගනිමින් ඇමරිකාව එල්ල කිරීමට සැරසෙන ප්රහාරයන් රුසියාව සහ චීනය දැඩි ලෙස හෙළා දැක ඇත. එවැනි ක්‍රියාමාර්ගයක් කලාපීය ස්ථාවරත්වයට මෙන්ම තම උපායමාර්ගික අවශ්‍යතාවලට බරපතල තර්ජනයක් වනු ඇති බව එම රටවල් අවධාරණය කර තිබේ.
වචනයට පමණක් සීමා නොවී, රුසියාව, චීනය සහ ඉරානය එක්ව හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ දිනවල පවත්වනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඇමරිකාවට ලබා දෙන ප්‍රබල පණිවිඩයකි. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසන පරිදි මෙය “නොපෙන්නූ විරූ මට්ටමේ උණුසුම් තත්ත්වයක්” වන අතර, ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ගෝලීය බලශක්ති සැපයුමට සහ ආරක්ෂාවට දරුණු ලෙස බලපානු ඇති බව අවධාරණය කර තිබේ. චීනය ද පෙන්වා දෙන්නේ ඇමරිකාවේ මෙම ඒකපාර්ශ්වික තීරණ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවයි.
මේ තත්ත්වය Reuters සහ Newsweek වැනි පුවත් සේවා හඳුනා ගන්නේ රුසියාව සහ චීනය ඉරානය වෙනුවෙන් පෙනී සිටින්නේ තම මිත්‍රත්වය රැක ගැනීමට පමණක් බවය. ඇමරිකාව සමඟ සෘජු ගැටුමකට යාමට නොවන බවය. ඔවුන්ගේ උපායමාර්ගය වන්නේ “හඬ නඟා විරුද්ධ වීම සහ වක්‍රව උදව් කිරීම” පමණක් බව ඔවුහු පවසති. 2025 වසරේදී ඉරාන මධ්‍යස්ථානවලට එල්ල වූ ප්රහාරවලදී ද මෙම රටවල් හුදෙක් රාජ්‍යතාන්ත්‍රික විරෝධතාවලට පමණක් සීමා වුන ආකාරය බටහිර මැදහත් විචාරකයින් විසින් සලකුණු කර තිබේ.
කෙසේ වෙතත්, උත්තරීතර නායකයා ඉලක්ක කිරීම යනු රුසියාව සහ චීනය නියෝජනය කරන “බහුධ්‍රැවීය ලෝක පර්යායට” එල්ල කරන සීමාව ඉක්මවූ අභියෝගයකි. මේ තත්ත්වය මත බ්‍රික්ස් (BRICS) සහ ශැංහයි සහයෝගිතා සංවිධානය හරහා ඉරානයට ආර්ථික ශක්තිය ලබා දීම, නවීන අවි ආයුධ සහ බුද්ධි තොරතුරු ලබා දීම, ජාත්‍යන්තර වේදිකාවේදී ඇමරිකාව හුදකලා කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව අවසාන තීරණාත්මක ප්රවේශයකට පැමිණිය හැකි බව පෙනේ. ලබ්බට තැබූ අත පුහුලටත් තබන බවට වූ සෑම නිමිත්තක්ම ට්‍රම්ප් විසින් පෙන්වා දී ඇත.
එමෙන්ම මෙය නොනවතින කලාපීය යුද්ධයක නිත්‍ය වෙඩි මුරය වනු ඇති බවට සාධක ඕනෑවටත් වඩා තිබේ. හිස්බුල්ලා හෝ හවුති සන්නද්ධ කණ්ඩායම් මැදිහත් වීමෙන් මුළු මැදපෙරදිගම ගිනි ජාලාවක් විය හැකියි.
දෙපාර්ශවයේම දැඩි මතධාරීන් විරුද්ධ වුවද, දැඩි අධීක්ෂණය යටතේ යම් මට්ටමක යුරේනියම් බලගැන්වීමකට සාධාරණ ඉඩක් ඉරානයට ලබාදෙන “සංකේතාත්මක” එකඟතාවයකට පැමිණීමෙන් පමණක් මෙම යුද බිය දුරු කරගත හැකි අයුරු ලෝක දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් බලය සහිත එක් මනෝ විකෘතිකයෙකුට ලෝක විනාශයක් කළ හැකි බවට ඇති අවදානම් සාධකය ලෝකය ඉදිරියේ තිබේ. සමහර විට එහි අවසන් ප්‍රතිඵලය දකින්නට ඔබ අප කිසිවෙක් ජීවතුන් අතර නැති වීමට ද ඉඩ ඇති බව සංවේගයෙන් සිහිපත් කරමු.

දැවැන්ත යුද්ධයක පෙරනිමිති?






