ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පොලිමක් ඇති බැවින් නොසන්සුන්කාරී තත්වයක් පැමිණියහොත් පාලනය කිරීමට මැදවන ලෙස පොලිසියට දන්වා පිළිමතලාවේ ඉන්ධන පිරවුම්හලකට ගෙන්වා ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් මිනිසුන් පෝළිමේ සිටිය දී ඉන්ධන පිරවුම්හලට පැමිණි ඉන්ධන බවුසරයේ ලීටර 6500න් ලීටර 4000ක්ම සිය හිතවත් ගල්කොරි කාරයින් කීපදෙනෙකුට බලහත්කාරයෙන් ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පිළිමතලාවේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ට තර්ජනය කරමින් බලහත්කාරයෙන් මෙම පුද්ගලයින්ට ඉන්ධන ලබා දී ඇති බවය.
චෝදනාවට ලක්ව ඇත්තේ කඩුගන්නාව පොලිසියේ පොලිස් රථවාහන අංශ නිලධාරින් දෙදෙනෙකි.
ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල ජනතාව රැදී සිටියදී මෙම පිරිස ලීටර් 4000 ක් පමණ බලහත්කාරයෙන් ලබාගත් බව සඳහන් කරමින් කළමනාකාර වරයා කඩුගන්නාව පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු මේ සම්බන්ධව සම්බන්ධව පළාත් නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස්ගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.
ඉන්ධන පිරවුම් හලේ අධික වාහන තදබදය නිසා කිසියම් නොසන්සුන්තාවක් ඇතිවේයැයි බියෙන් පොලිස් නිලධාරීන්ගේ සේවය ලබාදෙන ලෙස තමන් කඩුගන්නාව පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ මෙම රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා පැමිණි බවත් ඔවුන් වාහන හැසිරවීම වෙනුවට කළේ හිතවතුන්ට ඉන්ධන බෙදාදීම බවත් මේ පිළිබඳව අප කළ විමසුමක දී කළමනාකාරවරයා පැවසුවේය.
ඉන්ධන පිරවුම් හළට 25 දින පස්වරු 1.30 ට තෙල් ලීටර් 6500 ක් රැගත බවුසරයක් පැමිණි බවත් ඉන් ලීටර් 4000 ක් පමණ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට ලබාදීම නිසා පෝලිමේ සිටි විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවූ බවත් ඔහු පැවසුවේය.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යොදවා පරීක්ෂණයක් කරන බවත් එහිදී පොලිස් නිලධාරියෙකු මෙයට සම්බන්ධ බව තහවුරු වුනහොත් ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකරන බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් කීය.
Discussion about this post