දිනසේන රතුගමගේ –
බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයින් සතු යාත්‍රා වෙන්දේසියේ විකිණීමෙන් ලැබෙන ආදායමෙන් විපතට පත්වන ධීවරයින්ට වන්දි ගෙවීම සදහා විශේෂ අරමුදලක් පිහිටුවීමට නාවික කටයුතු පිළිබද අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
ඉන්දීය ධීවරයින් ටෝලර් යාත්‍රා, බෝට්ටු හා ඩිංගි වැනි යාත්‍රා වලින් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම නිසා වසරකට එවැනි යාත්‍රා 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට පත්වන බව පෙනී ගොස් තිබේ.
දැනට පවත්නා ධීවර පනතට අනුව එම යාත්‍රා රාජසන්තක කිරීමක් සිදුවන අතර පසුව ඒවා වෙන්දේසී කිරීමක්ද සිදුවෙයි.
එසේ ලැබෙන මුදල් වලින් උතුරේ හෝ දකුණේ ධීවරයින්ගේ විපත් වලදී වන්දි ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කිරීමට නාවික කටයුතු පිළිබද අමාත්‍යංශයේ හා ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
ඊට අමතරව ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධිවරයින්ගේ දැල් කපාගෙන යාම ඔවුන්ට පහර දීම වැනි අවස්ථාවලදී ධීවරයින්ට සිදුවන හානි වෙනුවෙන් වන්දි ගෙවීමටද මෙම අරමුදල යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.
එම යෝජනාව සම්මත වුවහොත් මෑතකදී ඉන්දීය ධීවරයින් විසින් පහර දීමෙන් මියගිය නාවික හමුදා භටයාටද නාවික හමුදාවෙන් ලැබෙන වන්දි මුදලට අමතරව අමතර මුදලක් වන්දි වශයෙන් ගෙවීම ප්‍රථමයෙන් සිදු කිරීමටද බලාපොරොත්තු වෙයි.
මේ වන විටද ඉන්දීය ධීවරයින්ගෙන් අත්පත් කරගත් යාත්‍රා 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව බාරයේ තබා ඇත.







