දිනසේන රතුගමගේ
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණීම නතර කිරීමට ඉක්මන් පියවර ගන්නා බවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට 7 දා පොරොන්දු වී තිබේ.
මහ කොමසාරිස්වරයා මෙසේ පොරොන්දු වූයේ අමාත්‍යවරයා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.
ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ උතුරේ ධීවරයින් සතු මත්ස්‍ය ගහණය බලහත්කාරයෙන් මංකොල්ලකෑම නිසා උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය බිඳ වැටී ඇති බවට නිතර නිතර එල්ල වන චෝදනා නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට තිබේ.
මේ ප්රශ්නය විසදීමේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයට හානි නොවන අන්දමට කටයුතු කළ යුතු බවත් ඉන්දීය මධ්‍යම රජය තමිල්නාඩුවේ දේශපාලනඥයින් හා ධීවර සමීති සමග සාකච්ඡා කොට ඉතා සාධාරණ අන්දමට මේ ප්රශ්නය විසදා ගත යුතු බව පවසා ඇති ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉතා ඉක්මනින් ඒ සදහා පරිසරය සකස් කරණ බවද ප්‍රකාශ කොට තිබේ.
ධීවර අමාත්‍ය ඩගල්ස් දේවානන්දා මේ ප්රශ්නය විසදීම සදහා දැඩි මහන්සියකින් යුතුව කටයුතු කරණ අතර අග්‍රාමාත්‍යවරයාද දකුණේ රැකව හා මාවැල්ල ධීවර නැංගුරම් පලවල් ඉදිකිරීම සදහා මුලගල තබමින් ප්‍රකාශ කොට ඇත්තේ විදේශිකයින්ට මේ රටේ මුහුදු සම්පත කොල්ලකෑමට අවස්ථාවක් ලබා නොදෙන බවයි.