දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් පිරිසක් ඊයේ (25) අලුයම මහ මුහුද මැදදී යාපනයේ ධීවරයින්ට අයත් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැල් කපා ඒ දැල්වල සිටි මසුන් පැහැර ගෙන ගිය බව වඩමරච්චි එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කරයි.
ධීවර සංගමයේ නිලධාරීන් මේ බව නාවික හමුදාවටද පැමිණිලි කොට ඇති අතර ඉන්දීය ධීවරයින් සිදු කළ මේ විනාශය නිසා ඔවුන්ට යළි මුහුදු යාමට නොහැකි අන්දමට දැල් විනාශ වී ඇති බවද කියා සිටියි.
ඉන්දීය ධීවරයින් පැමිණෙන ටෝලර් යාත්‍රාවල සවි කොට ඇති විශේෂ කොක්කක් මගින් ධීවරයින්ගේ දල් කපන බවත් ඒ දැල් ඔවුන්ගේ යාත්‍රාව දෙසට ඇද එහි සිටින මසුන් දැලේ ඉතිරි කැබැල්ල සමග ඔවුන්ගේ බෝට්ටුවලට දමා ගන්නා බවද යාපනයේ ධීවරයෝ පැවසූහ.
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන කාලයේ සිට මේ දැල් කැපීම හා මසුන් කොල්ල කෑම සිදුවන නමුත් එය මැඩ පැවැත්වීමට රටවල් දෙක අතර පැවති ධීවර සාකච්ඡා වලදී පවා නොහැකි වූ බව වඩමරච්චි එක්සත් ධීවර සමීතියේ නියෝජිතයෝ කියා සිටිති.