මේ රට කිසිම අවස්ථාවක වහල් භාවයට පත් වූ වහල්කමේ ගිය රටක් නොවන බවත්, මේ රට යම් ජාතිකය යටත් විජිතයක් වී නම් එසේ සිදුවූයේ අපේ නායකයන්ගේ පාවාදීම නිසා බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ අද (27) පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ අද රාගම තේවත්ත බැසිලිකා දෙව් මැදුරේ රෝගීන් ආශීර්වාද කිරීමේ විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් සිය දේශනය කරමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ ජාතිය වහල් භාවයට පත් කරන නායකයන්ගේ පාවාදීම් හෙටත් සිදුවිය හැකි බවත් ලංකාව ඉන්දියාව යා කරන පාලම් තනන්නේ නම් ඒ සඳහා ජනමත විමසුමක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවත්ය. කෑලි කෑලිවලට රට කඩමින් විදේශවලට විකුණමින්, පාලම් තනා ලබා ගත් නිදහස නැති කරගනිමින් කරන මේ ක්‍රියාවලිය අසනීපයක් බවය.
උන්වහන්සේ කිවේ මේ ඇස්බැස්ටස් තහඩුවට, රුපියල් පන්දහසට ඡන්දය දී ජාතිය පාවාදීමේ විනාශයට හවුල් නොවී මේ විනාශකාරී බලවගේ පලවා හැරීමේ නව නිදහස් සටනක් සඳහා දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලා සිටින ලෙසය.
කාදිනල් හිමිපානෝ සිය දීර්ඝ දේශනයේ දී මෙසේ ද පැවසූහ.
“ලංකාවේ අද ඇතිවෙලා තියන තන්හාවෙන් පිරුණ ආර්ථික ක්‍රමවේදයක්. දැන් අපේ දේශපාලන නායකයො මේ ක්‍රමවේදය හොඳයි කියලා කිය කිය අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවල්වලට, එක එක බලාවේගවලට යටත් වෙමින්, විවිධ මෝඩ තීරණ ගනිමින්, මේ රට විනාශය කරා ගෙනයන්නට කටයුතු කරමින් තිබෙනවා.
තව තවත් අපේ නිදහස නැතිවන මෝඩ කතා, මොඩ වැඩ සකස් කරමින් පවතිනවා.
මේ ගොල්ලන් ඉන්දියාවට පාලමක් හදනවලු.
දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. තවත් ප්‍රශ්න එකතු කරගන්නයි හදන්නේ මේගොල්ලො… ඉන්දියාවෙ ඉඳන් ලංකාවට පාලමක් හදනවා කියන්නේ…
ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. ඔබට මතකයි හමුදාවක් එව්වා ඔවුන් ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා බලයෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා.
තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි.
කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියෙ නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. පකිස්ථානයයි, බංගලිදේශයයි, ඉන්දියාවේ ඇතුළෙ කොටස් හැටියට තිබිලා වෙන් වෙලා ගිය රටවල් දෙකක්. ශ්‍රී ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම.
මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්. මේ රට ක්‍රම ක්‍රමයෙන් පාවා දෙන්නේ මේ රට විනාශ කරන්නේ අපේම මිනිස්සු තමයි.
විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවා නම්, අපි හැමදෙනාගේම මතයට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අද අපේ රටට මේ පාලමක් තැනීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි.
මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.
අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කනගාටු වෙනවා. අපේ රට අද වෙනදාට වඩා රෝගී තත්ත්වයකට පත් වෙලා තියනවා. අපේ රටේ පෙරේතකම කෑදරකම තන්හාව, තමන්ට පමණක් හැම දේම අයිතිකරගතයුතුයි කියන චින්තනය…. මේවට යට වෙලා, මේවට මිනිස්සුන්ව වහල් කරලා, මේ ක්‍රමවේදය තුළ අනෙක් අය ගැන හිතන රටක් හැටියට මේ ලංකාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා අසනීප තත්ත්වයකට පත් කරලා තියනවා මේ රටේ නායකයො, පසුගිය අවුරුදු හැත්තෑ පහ තුළම.
නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න එක. තවත් ඉඩම් අක්කර දහස් ගණන් දෙමු අපි ඔක්කෝම රටවල්වලට…
කෑලි කෑලි කඩලා කඩලා දෙමු…
හරි හොඳයි….
එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ…
තේරුම් ගන්න… මේක අසනීපයක්.”
ඒ නිසා මේ රෝගීන්ගේ දවසේ අපි අපේ රට වෙනුවෙන් දේව මෑණියන්ට යාඥා කළ යුතුයි. මේ විනාශකාරී බලවේගවලින් අපිව නිදහස් කර දෙන්න කියලා අපි යාඥා කළ යුතුයි.
ඒ වගේම අපි පුරවැසි යුතුකම ඉෂ්ඨ කළ යුතුයි. එනම් මේ රටේ මේ විනාශකාරී බලවේගවලට බලයේ ඉන්නට ඉඩ නොදෙන එක. මේ විනාශකාරී බලවේග මේ රට වහල් තත්ත්වයට ඇද දමනවා නම් ඔවුන්ව එළියට දමන එකේ තීරණය ගන්න ඕන අපි.
ඒ නිසා ඇස්බැස්ටස් තහඩුවකට, එහෙමත් නැතිනම් රුපියල් පන්සියයකට, රුපියල් පන්දාහකට ඡන්දය දෙන කාලයක් ආයේ එන්න බෑ. එහෙම ඡන්දය දුන්නොත් අපි මේ රට පාවා දෙන පිරිසක් බවට පත් වෙනවා.
මේ රට තුළ සෑම ජනකොටසකගේම අයිතිවාසිකම් සුරකින, ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ක්‍රමයක් බිහි කරන්නට කැපවීම මේ රටේ සෑම කිතුනුවෙකුගේ සේම සෑම පුරවැසියෙකුගේ පුරවැසි වගකීම බවත්, මෙවන් කාල වකවානුවක පුරවැසි උත්සාහය සහ කැපවීම විය යුත්තේ ඒ යහපත් වෙනස ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.”
අලුත් නිදහස් අරගලයක යෙදෙන්නට උන්වහන්සේ දේව ආශීර්වාදය ඉල්ලා සිටියහ.