ඉන්දියාව ඇමෙරිකාවෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා 30ක් ගැනීමට ලංකාවේ “පෝටි සිටියත්“ හේතුවක්!

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව විශේෂඥ ආචාර්ය සේනක අබේගුණසේකර

ශ්‍රි ලංකාව චීනය සමඟ පවත්වන සබඳතාවල කිසිදු සමබරතාවක් නොමැති බවත් මේ හේතුවෙන් ඉන්දියාව දක්වන සංවේදිතාව සහ ඔවුන් දක්වන ප්‍රතිචාර ශ්‍රි ලංකාවට භයානක පසුබිමක් නිර්මාණය කරවන බවත් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රවීණ විශ්ලේශකයකු වන ආචාර්ය සේනක අබේගුණසේකර මහතා පවසයි.

අද සිරස රූපවාහිනියේ පැතිකඩ සංවාදයට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ කොවිඩ් අර්බුදය මැද පවා ඉන්දියාව ඩොලර් බිලියන තුනක් වැය කරමින් ප්‍රහාරක ඩ්‍රෝන යානා පන්තියක් මිලදී ගැනිමේ තීරණයට පැහැදිළිවම ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දීය කලාපයේ චීන තර්ජන පිළිබඳ පවතින ආරක්ෂක සංවේදීතාව පිළිබඳව ගත් තීරණයක් විය හැකි බවය.

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා වන වයිස් අද්මිරාල් අශෝක් කුමාර් ශ්‍රි ලංකාව් කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව ඉතා උනන්දුවෙන් බලා සිටින බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඉන්දියාව ඇමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාර දියත් කළ හැකි යානා ගෙන්වීමත් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.


එහිදී ප්‍රවීන මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් අබේගුණසේකර මහතා මෑත කාලය තුළ ඉන්දියාව ඇමරිකාව සමඟ ආරක්ෂාවට සම්බන්ධ ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් මෙම ගිවිසුම් අනුව ඇමෙරිකානු චන්ද්‍රිකා ඡායාරූප පවා ලබා ගත හැකි අතර එයින් ඔත්තු සේවා ශක්තිමත් කරගෙන ඇති බව පෙන්වා දුන්නේය.

“මෙවැනි පියවරක් ගැනිමට හේතුව චිනය ඉන්දියාවේ සංවේදි ආරක්ෂක කලාපය තුළ සිදු කරන ක්‍රියාකාරකම් බව කියන්න පුළුවන්. චීනය ලෝකයේ සෑම කලාපයකම මෙවැනි කටයුතු කරනවා. පසුගියදා ඉන්දියාවේ ශ්‍රි විවේකානන්ද පර්යේෂණායතනය සහ ඉන්දීය ජාතික ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ පර්යේෂිකාවක වන ශ්‍රිරාධා දත්තා පවසා තිබෙන්නේ කොළඹ ප්‍රමාණවත් ලෙස ඉන්දියාව සම්බන්ධයෙන් සංවේදීතාවක් නොදක්වන බව. ඔවුන් කියනවා වචනයට දෙන පොරොන්දු පමණක් ශ්‍රි ලංකාවෙන් බලාපොරොත්තු නොවන බව. විශේෂයෙන් ව්‍යාපෘති සම්බන්ධයෙන් චිනය සම්බන්ධයෙන් දෙන වාචික පොරොන්දු ප්‍රමාණවත් නෑ කියන එකයි එයින් කියන්නේ. එනම් ඔවුන් ඊට එහා ගිය පොරොන්දු බලාපොරොත්තු වනවා. මේක භයානක තත්ත්වයක්. ඉන්දියාව ඇමෙරිකාවෙන් ඩ්‍රෝන යානා 30ක් විතර ලබා ගැනිමට බලාපොරොත්තු වනවා. ඒවාට පැය 30ක් 40ක් විතර ගුවනේ ඉන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරක හැකියාවන් සහිත ඒවා.ඉන්දියාවේ දකුණු මුහුදු කලාපය නිරීක්ෂණය එ අයගෙ ප්‍රමුඛතාවක්. කොළඹ වරාය නගරය (පෝට් සිටි) හදන්නේ ඉන්දියාවේ දකුණු මුහුදු කලාපයට කිලෝ මීටර 290ක් ඈතින්. අපි වැඩක් කරනකොට මෙම කලාපයේ තත්ත්වයන් එහි ආරක්ෂක සංවේදි කාරණා සැලකිල්ලට ගත යුතුයි. ඒවා සමබර කළ යුතුයි. මේ ව්‍යාපෘතිය කරද්දී ශ්‍රි ලංකාව හිතුවද ඉන්දියාවට පවතින ආරක්ෂක සංවේදිතාව.? අපට සමබර නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව අවශ්‍යයි. ශ්‍රි ලංකාවට චීනය සමඟ ඔවුන් සමගම යන ඔවුන්ට ආවඩන ආකාරයේ බෑන්ඩ් වැගනින් ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තිය ඉන්දියාවට ප්‍රශ්නයක් විය හැකියි යයිද පැවසීය.

Exit mobile version