කොළඹ අක්ෂි රෝහලේ දී අක්ෂි ශල්‍යකර්මයක් අතරතුරදී රෝගියෙකු මිය යාම නිර්වින්දන ඖෂධයේ ප්‍රතිඵලයක්ද ශල්‍යකර්මයේ අතුරු ප්‍රතිඵලයක් ද වෙනත් කායික රෝගී තත්ත්වයක් හෝ වෙනත් ඖෂධයක සංකූලතාවයක් නිසා ඇතිවූ තත්ත්වයක් දැයි නිසි පරිදි වොහාරික හා විශ්ලේෂණ වාර්තාවක් හරහා ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල්ව සෞඛ්‍ය ලේකම්වරයා අමතමින් පවසයි.
ගිනි පෙනෙල්ලෙන් බැට කන මිනිසා කලාමැදිරි එළියටත් බිය වන්නා සේ මේ වනවිට රෝහල් පද්ධතිය ඇතුළේ සාමාන්‍ය වශයෙන් සිදුවන මරණ පවා ඖෂධවල සංකූලතාවයක් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ නිසා හෝ සිදුවන බවට සමාජය තුළ බරපතළ සැක පැතිරයාම සාධාරණ බව ද ඔහු කියයි.
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී පමණ ශ්‍රී ලංකාවට තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන ඒමත් ලියාපදිංචි නොමැති ඖෂධ ගෙන ඒමත් නිසි විද්‍යාත්මක විශ්ලේෂණ වාර්තා වලින් තොරව හා විශේෂඥ උපදේශක සභාවල අධීක්ෂණයෙන් තොරව ඖෂධ ගෙන්වීමත් නිසා මහජනතාවගේ ජන ජීවිතයටත් රටේ බදු මුදල් ගෙවන ජනතාවටත් විශාල හානියක් සිදුවිය හැකි බව තම වෘත්තීය සමිති ව්‍යාපාරය පෙන්වා දෙද්දී ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වෙනුවට තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වමින් සත්‍ය යටගැසීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළත් දැන් සත්‍ය බැලුම් බෝල උඩ එන්නා සේ මතුවන බවද ඔහු පැවසීය.







