ඇස්ට්‍රාසෙනිකා එකක් ගත් අයට ආරක්ෂාව සියයට 30යි! – හොඳ ප්‍රතිශක්තියක් ගන්න දෙවනියට ෆයිසර් දෙන්න

astrazeneca vaccine

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට මෙම කොවිඩ් 19 වෛරසයට ඔරොත්තු දීම ඇත්තේ සියයට 30ක් පමණක් බැවින් ඔවුන්ට කඩිනමින් දෙවන මාත්‍රාවක් ලබා දිය යුතු බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පවසයි. මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබා ගත නොහැකිව සිටින තත්ත්වය තුළ ඔවුන්ට ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමෙන් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලබා ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණයක නවතම ප්‍රතිඵල මත තහවුරු වි ඇති බව පැවසීය.

අද පෙරවරුවේ කොළඹ ශ්‍රි ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළ වෛද්‍ය රජීව් ද සිල්වා
“මෙම ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව සති 12කට පසුව ෆයිසර් එන්නත ලබා දීමේදී ඇස්ට්‍රා සෙනිකා දෙවන මාත්‍රාව ලබාදුන් පසු ලැබෙන ප්‍රතිශක්තියට වඩා වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බව ඊයේ එළිදුටු මෙම නවතම පර්යේෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබෙනවා. දැනට අපේ රටේ ඉක්මනින් මේක දෙවන එන්නත ලබා දීම ඉතා වැදගත්.දැනට මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් පමණ ලැබි තිබෙනවා. ඉතිරි ප්‍රමාණයත් අප සපයාගතහොත් එම ජනතාවට එන්නත් කළ හැකි වනවා.“ යයි පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණකට අනුව මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පෙන්වන බැවින් වේගවත් එන්නත්කරණයකින් මෙම තත්ත්වය පාලනය කළ හැකිවනු ඇති බවද වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එය වේගයෙන් ම පැතිරෙන බවට බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයකින් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් බවත් සඳහන් කරන වෛද්‍ය රජීව් ද සිල්වා මෙම තත්ත්වය යටතේ කඩිනම් එන්නත්කරණයක අවශ්‍යතාව අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මේ වනවිට රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාත්මක පහළ බැසීමක් පෙන්නුම් කරන බවත් පසුගිය දිනවල ක්‍රියාත්මක වු දැඩි සංචරණ නිති ඒ සඳහා බලපෑ බවත් එම සීමා ලිහිල් කළ පමණින් වගකීමකින් තොරව ජනතාව කටයුතු කළහොත් යළි අහිතකර තත්ත්වයක් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන්නාය. එසේම මෙම තත්ත්වය පාලනය කිරීමට ඊළඟට ඇති හොඳම ක්‍රමය ඉකිමනින් එන්නත්කරණය සිදු කිරීම බවත් දැනට රජය විසින් ඒ සඳහා දක්වන කැපවීම අගය කරන බවද සඳහන් කළ වෛද්‍ය සංගම් සභාපතිවරිය තමන්ට අවස්ථාවක් ලද සැනින් එන්නත ලබා ගත යුතු බව පෙන්වා දුන්නාය.


Exit mobile version