හැටන් රංජිත් රාජපක්ෂ –
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.
ඇමතිවරයා සමග තවත් සැක කරුවන් කීප දෙනෙක් ද අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) දින කරුණු වාර්තා කළ අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කර ඇත.
වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුහසිංහ මේ පිළිබඳව කළ විමසුමක දී කියා සිටියේ ඇමතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති බවය.
2024.05.30 දින කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුළට අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
අධිකරණය වෙත අද (22) දින ඉදිරිපත් වන ලෙසට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑලිය පොලිසිය මගින් දැනුම් දි තිබු නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥයවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුහ.
කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ , ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහ සහ සුරේෂ් ගයාන් යන නීතිඥවරු පෙනී සිටියහ.







