-
ලොහාන් ගේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් තියන්න පොලීසිය භාර ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිට දැනුම් දුන්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඒ ගැන කිසිදු විමර්ශනයක් ආරම්භකර හෝ ආරම්භ කිරීමට සූදානමක් නෑ…
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදුවන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර කිහිප වරක් ප්‍රකාශ කළද මෙම පරීක්ෂණය තවමත් ආරම්භ වී නොමැති බව පොලිසියේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ එවැනි විමර්ශනයක් සිදු කෙරෙන්නේ නම් ඒ සඳහා පැමිණිල්ල බන්ධනාගාර පාර්ශවයෙන් කළ යුතු වුවද තවමක් බන්ධනාගාරයෙන් එවැනි පැමිණිල්ලක් නොමැති වීමය.
මේ හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු ආරම්භ වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසර ට පැවසීය.
පොලීසිය භාර ඇමතිවරයා විසින් පොලිස්පතිට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් සිදුකරන ලෙස දැනුම් දුන්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මෙතෙක් ඒ ගැන කිසිදු විමර්ශනයක් ආරම්භකර හෝ ආරම්භ කිරීමට සූදානමක් හෝ බලාපොරොත්තුවක් නැති බව සඳහන් වේ.
මෙතෙක් පොලිසිය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් ගත් එකම පියවර වූයේ අනුරාධපුර පොලිස් අධිකාරිවරයා බන්ධනාගාරයට ගොස් එහි අධිකාරීවරුන්ගෙන් වටින් ගොඩින් ඒ ගැන සොයා බැලීමක් කිරීමක් පමණක් බව වාර්තා වේ.
එහිදී ද බන්ධනාගාර නිලධාරීන් පොලිස් අධිකාරිවරයාට පවසා අත්තේ එවැනි සිදුවීමක් නොවූ බව යයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.







