තවත් මොනවා කියන්නදැයි නොවැටහේ. වචන පුංචි වැඩි බව පමණක් ලියා තබමු. ඒ නම් විශ්මිත චමත්කාරයකි. දඹුල්ල ක්‍රීඩාංගනය පිරි ඉතිරි ගොස් තිබිණි. එවැනි ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හෘදයාංගම අපේක්ෂාවන් මැද කෙල්ලන් මින් පෙර ක්‍රිකට් නොගැසූ බව සහතිකය. ඒ ප්‍රේක්ෂාගාර පීඩනය අවසාන මොහොතේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම මත පතිතවනු දුටුවෙමු. එක පැහැර නැගෙන්නේ ශ්‍රි ලංකා… ශ්‍රි ලංකා හඬය…. මහා ජය ඝෝෂාවක් සෑම හතරේ පහරකදීම මතු නොව රැස් කරගන්නා සෑම ලකුණක දීම නැගෙමින් තිබිණි.
හාත්පස අහසේ දිගහැරෙන සිංහ ධජයන්ය. දඹුල්ල ක්‍රීඩාංගනයේ උස් ගස් මුදුන් වලද සිංහ කොඩි ළෙලදෙමින් තිබිණි.
ඉතිහාසයේ එවැනි උත්කර්ෂවත් තරගයක් කාන්තා ක්‍රිකට්වල තිබුණේ නැත. අවස්ථා පහක දී අනුශූරයන්ව ඉන්දියාව හමුවේ පරාජය වූ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් වෙනස් කර තිබිණි. අද ඔවුන් ආසියා ශූරියෝ වූහ. එම ජයග්‍රහණය ලබන්නේ කාන්තා ක්‍රිකට් තරගයක දී ලැබෙන දැවැන්ත ඉලක්කයක් වූ ලකුණු 165ක් හඹා ගොස් කඩුළු 08කින් අත් කරගත් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසිනි.
ඒ මොහොත පසුපස වචනයෙන් පෙළ ගැසිය නොහැකි මහා හැඟිම් සමුදායක් දෝරේ ගැලුවේය. තරගයේ අඩක් නිමකළ චමරි අතපත්තුගේ දැවී යෑමෙන් අනතුරුව වගකීම කරට ගෙන තරගය නිමා කළ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තරගය ජයග්‍රහණය කළ පසු හඬා වැටෙමින් පිටිය සිප ගත් ආකාරය, තරගය ජයග්‍රහණය කරන මොහොත තෙක් ක්‍රීඩා ගාරය ඉදිරියේ සිය සහෝදර ක්‍රීඩිකාවන් රැඳි සිටි අට්ටාලයට පසුපසින් සිට යමක් මුමුණමින් හැඟීම්බරව සක්මන් කරමින් සිටි චමරි අතපත්තු කඳුළු සලසමින් සිය සොයුරියන් සොයා ගිය ආකාරය රටක් වෙනුවෙන් ක්‍රිඩා කිරීමේ අධ්‍යාත්මික ගැඹුර කොතෙක්දැයි අපට කියා දුන් අයුරු ලියා තබමි.
“පකිස්ථානය හා පැවති අවසන් පූර්ව තරගයේ දී ප්‍රේක්ෂකයෙක් කී කතාව මතකය. 96 ටීම් එක ලැබිලා තියනවා. හැබැයි කෙල්ලන්ගෙන්…” මේ ජයග්‍රහණය තුළ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සහ ඒ වෙනුවෙන් කළ කැපකිරීම්වල ප්‍රමාණය චමරිලාගේ දෙනෙත්වලින් රූරා වැටුණු ජයග්‍රහණයේ උත්කර්ෂවත් කඳුළ සාක්ෂි දැරූ බව ඔබට කිව යුතුව ඇත.

තරගය ඇදි ගියේ දැඩි උද්වේගකර ලෙසිනි.
කාසියෙ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තේරූහ. එහි විශිෂ්ට ඵළ ඉන්දියා ක්‍රීඩිකාවෝ සිය මුල් කාර්තුවේ දී පැහැදිලිව පෙන්වූහ. තරගයේ මුල් කාර්තුව තුළ අපට අත්හැරුණු තැන් තිබිණි.
විශිෂ්ට පිතිකරණයක නිරත වූ ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිටි මන්දානා පන්දු 47ක දී ලකුණු 60ක් ලැබුවාය. මේ රූපත් යෞවනිය තරම්ම ඇයගේ පිතිකරණය හැඩ වූ බව ලියා තැබිය යුතුය. ඇය හතරේ පහර 10කි. ලකුණ 40ක් හතරේ පහර වලිනි. ඇය ලකුණු 60ක් කර යන්නේ ලකුණු 10 දී කවීෂා දිල්හාරිගේ පන්දු හමුවේ පිට පිට ලබා දුන් උඩපන්දු 02ක් අත හැරීමෙන් අනතුරුවය.
කඩුළු රකින රිෂා ගෝෂ් ඇය මුහුණ දුන් තුන්වැනි පන්දුවේ දී උඩපන්දුවක් ලබා දුන්නාය. එවිට ඇය ලබා සිටියේ ලකුණු 5කි. ඇය නැවතුනේ පන්දු 14ක දී හතේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 30ක් ලබමිනි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජෙමීමා රොඩ්‍රිගේස් පන්දු 16ක දී ලකුණු 29ක්, ෂෆාලි වර්මා පන්දු 19ක දී ලකුණු 16ක් ලැබුවාය.
පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36ට කඩුළු 2ක්, සහ උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, චමරී අතපත්තු කඩුල්ල බැගින් ලැබූහ.
ශ්‍රි ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ ලකුනු 166ක ඉහළ ඉලක්කයක් සොයා යමිනි.
ආරම්භක පිිතිකාරිණියන් යුගල චමරි අතපත්තු සහ විෂ්මි ගුණරත්නය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තාක්ෂණික රිද්මය විශිෂට ලෙස ප්‍රකට කරන ආරම්භක පිතිකාරිණිය විෂ්මි ගුණරත්න මුලු ලකුණු සංඛ්‍යාව 7ක්ව තිබිය දී අවාසනාවන්ත ලෙස දුවද්දි දැවී ගියාය.
ඉන් අනතුරුව නායක චමරි අතපත්තුට එක් වන්නී හර්ෂිතා සමරවික්‍රමය. චමරී සමග එක්වන හර්ෂිතා විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. චමරි පන්දු 51ක් තුළ හතරේ පහර 9ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 61ක් ලැබා සිටියාය. ඒ 12 වැනි ඕවරයේ අවසන් පන්දුව ය. මේ තරගාවලියේ විශිෂ්ටම පන්දු යැවීමේ වාර්තාව තැබූ දීප්ති ෂර්මාගේ පන්දුවක් චමරි අතපත්තුගේ පා ඉන්න බිඳ දැම්මේය.
චමරි එක තැන ගල් ගැසී සිටියාය. මුළු ප්‍රේක්ෂාගාරයම නිහඬය. චමරි දැවී යනවිට ලකුණු 94කි. පන්දු 48ක් තුළ ලකුණු 72ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රි ලංකා මැද පෙළ පිතිකාරිණියන් සතුය.

හර්ෂිතා සමරවික්‍රමට ඒ අවස්ථාවේ එක් වන්නි කවීෂා දිල්හාරිය. දැන් ඉන්දියාව තරගය දිනුවා තරම් වූ හැඟීමකය. ඔවුන් අසා ඇති ක්‍රිකට් අනුව ශ්‍රි ලංකා කණ්ඩායම යනු චමරි අතපත්තු ය. එහෙත් චමරි පසුපස අත්දැකිම් ලබමින් පුංචි සිරුරු සහිත අධිෂ්ඨානශීලී යෝධ කෙල්ලන් රොත්තක් පැමිණ ඇති බව අද ඉන්දිය කණ්ඩායම පමණක් නොව මුළු ලෝකයම දැක ගත්තේය.
එතැන් සිට වූ දේ අඩුම තරමින් මේ ලියන අපවත් බලාපොරොත්තු වූයේ නැත. ඒ වනවිට ස්ථාවරව සිටි හර්ෂිතා සමරවික්‍රම වගකීම ගත්තාය. හර්ෂිතා පන්දු කීපයකින් අනතුරුව ස්ථාවර වූවාය.
ප්‍රේක්ෂාගාරය එකම ඔල්වසරන් හඬකි. ඒ හඬ සහ ඉන් නැගෙන පීඩනය ඉන්දිය කණ්ඩායම මත පතිත වෙමින් තිබිණි. ඔවුන් අතින් පහසු පන්දු ගිලිහී ගියේය. තරගය වඩාත් තීරණාත්මක ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හැරුණේ වගකීම සියතට ගෙන පන්දුවට පහර එල්ලකරමින් සිටි හර්ෂිතා සමරවික්‍රමගේ පහසු උඩපන්දුවක් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කවුර් අතින් ගිලිහී යෑමත් සමගය.
හර්ෂිතාට නොදෙවෙනි තියුණු ප්‍රහාරයක කවීෂා දිල්හාරි නිරතවූවාය. පුදුමාකාර ජවයකින් කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කරන අතරම හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් සමගින් කවීෂා පන්දු 16ක දී නොදැවි ලකුණු 30ක් ලැබුවාය.
හර්ෂිතා දඹුල්ල පිටිය වර්ණවත් කරමින් අමරණීය මතකයක් තැබූ බව ලියා තැබිය යුතුය. චමරි දැවී ගිය පසු ලකුණු 72ක් පන්දු 48ක දී රැස් කිරීමේ තියුණු වගකීම දැරුවේ ඇය. මේ කෙල්ල ඒ වගකීම කවීෂා දිල්හාරි සමග එක් වී හරියටම කළාය.

හර්ෂිතා පන්දු 51ක දි හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 69කි. පන්දු ඕවර 18. 4ක් තිබිය දී ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 165 ඉලක්කය පසු කර ගියේය.
කඩුළු 08ක විශිෂට ජයග්‍රහණයක්, අමතක නොවන ජයග්‍රහණයක්, හැමදාම පරාජයන්ම උරුම කරගත් දුක්ඛිත මිනිස්සුන්ගේ මුවට හසරැල්ලක් ගෙනා කෙල්ලනේ… උඹලාට බොහෝ පින් බව කිව යුතුය.
තරගයේ විශිෂ්ටම ක්‍රිඩිකාව හර්ෂිතා සමරවික්‍රමය. දෙකක් නැත එය එසේමය. තරගාවලියේ විශිෂ්ට ක්‍රීඩිකාව චමරි අතපත්තුය. ඇය තරගාවලිය පුරා වැඩිම ලකුණු ලාභිණිය වී ලකුණු 304ක් රැස් කළාය. කඩුළු 03ක් ද ලැබුවාය.
ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි 20 තරගයක දී කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව වැඩියෙන්ම වාර්තා වූයේ මේ තරගයේ දී ය. ලකුණු එකතුව 332කි. ඉතිහාසයේ මුල්ම වරට ඉන්දියානු කාන්තා කණ්ඩායමට ආසියානු කුසලානය අහිමි වී ඇත.
ආසියානු ශූරියෝ ලංකාවේ ය. එය ලෝක කුසලානයක දිගුවක් විය හැකි බව බලාපොරොත්තු සහිතව ලියා තබමු.







