ආර්.එම්.වී. සේවක මාරු තීරණය රිවස් වෙයි

ඇමතිට සවස වෙනම කතාවක් කියන්න වෙයි

මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට ගත් තීරණය අත්හිටුවීමට රජයට සිදුව තිබේ.

අද උදෑසන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත මේ පිළිබදව ප්‍රකාශ කිරීමත් සමඟම එම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වට කරගෙන දැඩි විරෝධයක් දැක්වීම මෙම තත්තවයට හේතුවී තිබෙන බව දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සියලු දෙනාම එකවර මාරු කිරීමට කටයුතු කිරීමට දෙපාර්තමේන්තුවේ කටයුතුවල මෙන්ම සේවකයන් සම්බන්ධයෙන්ද අවුල් ජාලයක් නිර්මාණය කරවන බවයි.


වංචනික පුද්ගලයන් සහ විවිධ චෝදනා ලත් පුද්ගලයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් එසේ නොමැතිව දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් බහුතර පිරිසක් එකවර මාරු කිරීම අසාධාරණ බව ඔවුන් අවධාරණය කර තිබේ.

සෘජුවම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටම පිරිසක් බඳවාගෙන ඇති අතර ඔවුන් මීට පෙර මාරු කිරීමට කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කළ අවස්ථාවේදී මෙම නිලධාරීන් මෙම පියවරට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. එවැනි පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් මාරු කිරීමට නොහැකි බවද එහිදී ඔවුන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද රාජ්‍ය සේවයෙන් පිරිසක් මෙම දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම් හරහාද පත්වීම් ලබා ඇති අතර ඔවුන් කටයුතු කරන වසර පහක කාලය තුළ අනිසි ක්‍රියාවලටද සම්බන්ධ වෙමින් අමතර ආදායම් ඉපැයීමට කටයුතු කරන තත්ත්වයක්ද පසුගිය කාලය පුරා පැවති බව මෙම දෙපාර්මේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද උදෑසන මෙම හදිසි මාරුවීම්වලට එකතු පවා පැහැදිලි කළ විෂය භාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතාටද සවස් වනවිට තමන් මුලින් කළ ප්‍රකාශයට සම්පූර්ණයෙන් පරස්පර ප්‍රකාශයක් සවස් වනවිට සිදු කිරීමට සිදුවූයේ මෙම තත්ත්වය නිසා වන අතර අමාත්‍යවරයා සවස් භාගයේ ප්‍රකාශ කළේ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන් පමණක් මාරු කිරීමට පියවර ගන්නා බවය.

Exit mobile version