ආනවිලුන්දාවේ පරිසර විනාශය වෙනුවෙන් ගත් පියවර ගැන සජිත් පාර්ලිමේතුවේදී අසයි

ජාත්‍යන්තර වශයෙන්ද ආරක්‍ෂා කිරීමට බැදී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වන සත්ත්ව අභය භූමියක් වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කිරීමේ අපරාධය සම්බන්ධයෙන් උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට රජය ක්‍රියා කර තිබේද යන්න ප්‍රශ්න කළ විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස මහතා මෙම අපරාධය සම්බන්ධව අදාල ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන්නේදැයි අද පාර්ලිමේනතුවේදී විමසීය.

පරිසර සහ ස්වාභාවිත සම්පත් ස්ථාවර වෙනුවෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළ සජිත් ඵේ්‍රමදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ වෙයි.

පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්‍ෂා කිරීම රටක රජයක මූලික මෙන්ම ප්‍රධානතම වගකීමකි. ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කොට වැඩි දියුණු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතටද ඇතුළත් කොට තිබේ.


02. කෙසේ වුවද, වර්තමාන රජය බලයට පත් වූ වහාම වැලි ප්‍රවාහනයට අවශ්‍යව තිබූ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. එසේම, පසුගිය දිනක සිංහරාජ වන්නාන්තරයට මායිම්ව පිහිටා ඇති ලංකාගම බලා යන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් පරිසර විනාශය පිළිබඳව සමාජයේ කතිකාවක් මතු විය.

03. මේ අතරතුර, තවත් මහා පරිමාණ පාරිසරික ඛේදවාචකයක් පසුගිය දිනක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භුමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම එම ඛේදවාචකයයි.

04. පරිසරවේදීන්ට අනුව ඉතා සංවේදී පාරිසරික කලාපයක් වන මෙම කලාපය දේශීය හා විදේශීය සංචාරක පක්‍ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග හා සමනළ වර්ග බහුල කලාපයකි. එසේම, කඩොලාන ආශ්‍රිත දුර්ලභ පරිසර පද්ධතියකින් හා ජලාශ පද්ධතියකින් මෙම කලාපය සමන්විත වේ. ලෝකයේ දැනට පවතින අති දුර්ලභ මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන තෙත්බිම් අරක්‍ෂා කිරීමට 2001 වසරේදී ඉරානයේ රැම්සාර් නගරයේදී ඇති කරගත් සම්මුතියට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙන අතර, ඒ අනුව ආනවිලුන්දාව අභය භූමියද රැම්සාර් තෙත්බිමක් වශයෙන් 2001 වසරේදී ප්‍රකාශයට පත්කොට තිබේ.

එසේම, මෙම කලාපය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියකි.
05. මෙවැනි පාරිසරික පද්ධති විනාශ වීමට ඉඩ හැරීම ඉතා බරපතල අපරාධයක් බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයකි. එසේම, මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවට ද, ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවට ද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) ජාත්‍යන්තර වශයෙන්ද ආරක්‍ෂා කිරීමට බැදී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියක් පමණක් නොව අති සංවේදී හා ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්ද වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කරන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම රජයේ බරපතල දුර්වලතාවයක් බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) මෙම අපරාධය සඳහා උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට රජය ක්‍රියා කොට තිබේද? මෙම අපරාධය සම්බන්ධව අදාල ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද?

3) මෙම අපරාධය පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදරිපත් කොට තිබේද? එය මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? නොඑසේ නම් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


4) මෙවැනි බරපතල පාරිසරික අපරාධ ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් යෙදීමට රජය විසින් කටයුතු කොට තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

Exit mobile version