ආණ්ඩුව ගත් දේශීය ණයවලට කරන්න යන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය  මඟින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වූ බවත් මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළෙහි නිර්නායකයන් තීරණය කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර, එම ස්ථාවරය ශ්‍රී ලංකා බැංකු සංගමය මඟින් මේ වනවිට පිළිගෙන ඇති බවත් මුදල් රාජ=්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12)  පාර්ලිමෙන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්කෟර්න මූල්‍ය හුකමට අදාළ ගිවිසුම පිළිබඳව සැලකීමේදී මුලින් රජයට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයක් පිලිබඳව අදහසක් නොවූවද , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු කාර්ය මණ්ඩල ගිවිසුම යටතේ ඉදිරිපත් කර ඇති ණය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ  යම් තෝරා ගැනීම්වලදී යම් මූල්‍ය ගැළපුමක් සමඟ දේශීය ණය තොගයේ යම් ප්‍රශස්තකරණයක් (Domestic Debt Optimization) ඇති කිරීම යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමට රජයට සිදු වූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග 27 /2 යටතේ අසුණු ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ණය ප්‍රශස්තකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳව තීරණය කිරීම තවමත් අවසන් කර නැති බවද පැවසීය.


අසන ලද සම්පූර්ණ ප්‍රශ්න සහ පිලිතුර පහත දැක්වෙයි.

 

  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට බලධාරීන් පෙර ප්‍රකාශ කළද, මැයි මස අවසන් වනවිට ඒ සඳහා අදාළ විස්තීර්ණ සැලසුම් සකස් කරන බව වර්තමානයේ දී රජය ප්‍රකාශ කරනු ලබයි. රජය දැනටමත් එම ස්ථාවරයේම පසුවන්නේ ද? එසේ නම්, එහි ප්‍රගතිය කවරේද?

 

 

 

 

 

  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය නිසා බැංකු පද්ධතිය මත ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා බැංකු සංගමය (Sri Lanka Bank’ Association (Guarantee) Limited) විසින් සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව රජය දැනුවත්ව සිටින්නේද? මේ සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්ද?

දේශීය ණය ප්‍රශස්තකරණය මඟින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළෙහි නිර්නායකයන් තීරණය කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර, එම ස්ථාවරය ශ්‍රී ලංකා බැංකු සංගමය මඟින් මේ වනවිට පිළිගෙන ඇත.

  1. මෙම ප්‍රතිව්‍යුහගකරණ ක්‍රියාවලිය, “යම්තාක් දුරට” ස්වේච්ඡා ක්‍රියාවලියක් වනු ඇත්තේය යන රජයේ ප්‍රකාශය සම්බන්ධයෙන් බැංකු විසින් නිශ්චිත පැහැදිලි කිරීම් ඉල්ලා ඇති බව රජය දන්නේ ද? මෙම රජයේ ප්‍රකාශය මඟින් දේශීය ණයෙන් තවත් කොටසක් ස්වේච්ඡා නොවන (Involuntary) එසේ නැතහොත්, බලහත්කාරී (Coerced) බව නොහැඟෙන්නේද? මෙම “බලහත්කාරී” හා “ස්වේච්ඡා” කොටස් කවරේ ද යන්න වෙන්කොට දැක්විය හැක්කේ ද? එම බෙදුම් රේඛාව කවරේද?

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රමෝපායන්ට අදාළ නිර්ණායක තීරණය කිරීම සම්බන්ධව කටයුතු තවම අවසන් කර නොමැත.

 

  1. “කොළඹ කොටස් හුවමාරුව වසා දැමීමට තමා පසුබට නොවන්නේය” යනුවෙන් මෙම සභා ගර්භයේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් කොටස් හුවමාරුවේ ඇති ලැයිස්තුගත සමාගම් එයින් ඉවත්ව යාමේ අවධානමක් පිළිබඳව රජය තක්සේරුවක් සිදු කර තිබේ ද? මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා හෝ එමඟින් කොළඹ කොටස් වෙළඳපොළ කෙරෙහි ඇති කරනු ලබන හානිය අවම කරගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැපයීමට හා කොටස් වෙළඳපොළ කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමට රජය විසින් අවශ්‍ය සියලු පියවරයන් ගනු ලැබේ. රජය විසින් අවශ්‍ය වන අවස්ථාවලදී සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මේ සම්බන්ධව කටයුතු කරනු ලැබේ.

  1. සේවක අර්ථසාධක අරමුදලෙන් කොපමණ මුදලක් භාණ්ඩාගාර බිල්පත්වල (Treasury Bills), භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury Bonds) ආයෝජනය කර ඇත්තේද?

සේවක අර්ථසාධක අරමුදල මඟින් 2023 මාර්තු 31 වැනි දිනට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල සිදු කර ඇති ආයෝජන පහත දැක්වේ.

ආයෝජනය මුහුණත වටිනාකම (රු.බිලියන)
භාණ්ඩාගාර බැඳුම්කර 3,325
භාණ්ඩාගාර බිල්පත් 172.3
  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයට භාණ්ඩාගාර බිල්පත් ඇතුළත් වන්නේද? එසේනම්, එමඟින් සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය වත්කම්වල වටිනාකම පහත වැටෙන බව රජයට පැහැදිලි නොවන්නේද? එයින් වැඩ කරන ජනතාව ජීවිත කාලයක් පුරා කළ ඉතිරිකිරීම්වල වටිනාකම දරුණු ලෙස පහත වැටීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමයට දැඩි බලපෑමක් ඇති වීම සම්බන්ධයෙන් රජය අසංවේදී ද?

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළට සලකා බලන භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ඒ සදහා ඇතුළත් වේ.

  1. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවා වන රජයට එම අරමුදල් උපරිම ඵලදායී ලෙස ආයෝජනය කිරීමේ වගකීම පැවරී ඇත. අරමුදලේ කළමනාකරුවන් එම වගකීම පැහැර හැරීම, ජනතාව සතු රුපියල් බිලියන සිය ගණනක වත්කම් අහිමි වීමට හේතු විය හැකිය. එම නීතිමය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? එමඟින් බලපෑමට ලක් වූ ජනතාව වෙත හානි පූරණයට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සේවක අර්ථසාධක අරමුදලෙහි අරමුදල් කළමනාකරණ කටයුතු සම්බන්ධ තීරණ සේවක අර්ථසාධක අරමුදල විසින් ගනු ලබයි. අරමුදල මඟින් දෛනිකව අරමුදලේ මුදල් ප්‍රවාහය, වෙළඳපොළ තත්ත්වයන්, සහ ආයෝජන අවස්ථා පිළිබඳ ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව අරමුදලට අඩු අවදානමක් යටතේ වැඩිම ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ආයෝජන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබයි.

Exit mobile version