ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 175ක් කොමිස් ගන්නෙ  කවුද?.  ආණ්ඩුවේ මැති ඇමතිවරුත් කොමිස් හොරා සොයති!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවතින විදේශ විනිමය ණය සමනය කිරීම සඳහා ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලින 2.5ක ණය මුදල ට අදාලව කොමිස් මුදලක් ලබා ගන්නා දේශීය ණය නියෝජිතයා ලෙස නම් කර ඇති කෙනත් ඩිමොට් නැමති පුද්ගලයා සහ කන්සෙප්ට් ග්ලෝබල් නම් සමාගම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා   අනාවරණය  කිරීමෙන් පසුව  රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන්   දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වී ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා  සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණයක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් අදාල සමාගමට සියයට 7ක කොමිස් මුදලක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක් ලබා දීම ට අදාළ කැබිනට් පත්‍රිකාවෙන්ම යෝජනා කර ඇති අතර ඊට කැබිනට අනුමැතිය ලැබී ඇති බවය.

මේ සමාගම සම්බන්ධ අදාළ ලිපිනය පිළිබඳව සොයාගෙන යද්දී කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නිවසක ජීවත් වන කෙනෙත් ඩිමෝට් නැමැති පුද්ගලයකු එම නිවසේ සිටින බවත් ඔහු කුඩා ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයකු බවත් අනාවරණය වී ඇති බවත් සඳහන් කරයි.


මේ පුද්ගලයා මෙවැනි සුවිශාල ණයක් ලබා ගැනීමට  හැකියාවක් සහිත පුද්ගලයකුද යන්න පිළිබඳව  ආචාර්ය හර්ෂද සිල්වා  මහතා වරක් පාර්ලිමේන්තුවේ පොදු මුදල් කාරක සභාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ද විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මෙම ණය සම්බන්ධයෙන් තම මේසයට යෝජනා කිහිපයක් පැමිණි අතර ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුව අදාළ ණය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවය.

කෙසේ වුවද පසුගිය මාසයේ මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ විසින් මෙවැනි ණයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නොදන්නා බව ප්‍රකාශ  කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ වන විට අනුමැතිය ලැබී ඇති මෙම ණය මුදල ඇත්තටම ලබා ගන්නේ කාගෙන්ද යන්න සහ මෙම කොමිස් මුදල ලබා ගන්නා සැබෑ පුද්ගලයන් කවුද යන්න පිළිබඳව මේ වනවිට අමාත්‍යවරුන් අතර පවා කතාබහක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version