ආණ්ඩුවෙන් ගම තුළ විවෘත කිරීමට අවසර දෙන ගමේ කඩේ කළු කඩයක් වෙලා…

Villege-Market

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමග මහජනතාවට අත්‍යවශය බඩු මිලදී ගැනීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකම රජයේ අනුමැතිය ඇතිව විවෘතවන වෙළඳසල් මිනිසුන් හූරාගෙන කන කළුකඩ බවට පත් වී ඇති ආකාරය වාර්තා වේ.

සෑම ග්‍රාමසේවා වසමකම රජයේ අනුමැතියෙන් විවෘතවන මෙම වෙළෙඳසල් හිතූ හිතූ මිලගණන්වලට බඩු විකුණන ආකාරයත්, එම වෙළෙඳසල් නියාමනය කිරීමට ක්‍රමවේදයක් සැකසී නැති ආකාරයත් ලංකාසර කළ විමසීමක දී හෙළි දරවු විය.

දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම එම වසමේ සිටින ජනගහණය හා විශාලත්වය අනුව එක් වසමකට වෙළෙඳසල් දෙකක් හො ඊට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට රජයෙන් අවසර ලබා දී ඇත. එම අවසරය නිකුත් වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ග්‍රාම නිලධාරී නිර්දේශය මත ලබා දෙන බලපත්‍රයකිනි. ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කරන්නේ ගමේ ග්‍රාමීය කමිටුව මගින් ඉදිරිපත් කරන නිර්දේශයන්ය. ග්‍රාමීය කමිටුව නියෝජනය වන්නේ ගමේ රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.

මේ බලපත්‍ර ලාභී වෙළෙඳසල් උදේ 6 සිට රාත්‍රී 6 දක්වා විවෘත කිරීමට අවසර ලැබේ. මේ වෙළෙඳසල් බොහොමයක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිට අනුමැතියකින් තොරව අලෙවිවන පෙට්‍රල් බෝතලය දක්වා සියලුම පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් තීන්දු කර ඇත්තේ වෙළෙන්දන් විසින් බවට පැමිණිලි ලැබෙමින් ඇත.

මේ සම්බන්ධව පාරිභෝගිකයන් විශාල පිරිසක් ලංකාසරට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සිදුවන අසාධාරණය ගැන පාරිභෝගික සේවා අධිකාරියට මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද දුරකථන මාර්ගයෙන් පැමිණිලි කළ බවය. පාරිභෝගික සේවා අධිකාරියේ සමහර නිලධාරින් මෙවැනි වෙළඳසල් තිබේද යන්න පිළිබඳවත් දැනුවත්ව නොසිටි බව ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන කළ විමසීමක දී අපට දැනගන්නට ලැබුණේ මෙම වැඩසටහන තුළ පසු විපරම් ක්‍රියාවලියක් හෝ අධීක්ෂණයක් නොමැති බවය. බලපත්‍ර ලබාදෙන වෙළෙඳසල අධීක්ෂණයට වැඩපිළිවෙළක් නොමැති වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවත් මේ සම්බන්ධව පැමිණිලි ගණනාවක් තමන්ටත් ලැබී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

“ ගමේ වෙළෙඳසලට බලපත්‍රයක් ලබා දෙන්නෙ ගමේ මිනිස්සුන්ට පයින් ඇවිදගෙන ඇවිත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් දෙකක් මිලදී ගන්න. ඒ සියලුම තෝරාගැනීම් කරන්නෙ ග්‍රාමීය කමිටු. ඔවුන්ට රජය විසින් ලබා දී ඇති අවස්ථාව තමයි මේ අවභාවිත වෙන්නෙ. සමහර අය පැමිණිලි කරනවා ග්‍රාමසේවා වසම්වලට බලපත්‍ර ලබා දී ඇති අක්‍රමිකතා ගැන. හැමෝම තෘප්ත කරන වැඩ පිළිවෙළක් හදන්න බෑ. ඒත් මේ හැම දෙයින්ම පෙනෙන්නෙ මේ සමාජයෙ ස්වරූපය. තමන්ගෙ ගමේ තමන් එක්ක දුක බෙදා ගන්න, තමන්ගෙ වෙළඳසල් පවත්වාගෙන යන්න පදනම හදන ඥාති සමූහය සහිත පිරිසේ මිනිස්සුන්ව මෙහෙම දුෂ්කර අවස්ථාවක සූරගෙන කන්න හදන්නෙ ගමේම ව්‍යාපාරිකයා. පසු විපරමක් අවශ්‍යයයි.“

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් එසේ පැවසුවේය.

Exit mobile version