අලුත් අවුරුද්ද ජ්‍යොතිෂ ඇසින්….

ජ්‍යොතිෂය යනු සංස්කෘතියේ අංගයකි. එය අදහන්නෝ මෙන්ම නොපිළිගන්නෝ ද  හැම කල්හිම සිටියහ. සංවාද විසංවාද තුළ තවමත්  මේ විෂය අපේ සංස්කෘතික ජීවිතය හා බද්ධ වී පැවතෙමින් ඇත.  ලග්න පලාපල යනු ජන ජීවිතය හා විශ්වාස සමග බැඳුණු ජ්‍යොතිෂ්‍යාංගයකි. මේ පෙළ   ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය වෙනුවෙනි.

 

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ස්වාක්ෂේත්‍ර බලයෙන් කේතු හා සඳු සමග එක්ව 8 වැන්නේද, රවි සිකුරු සමග 9 වැන්නේද, බුධ ශනි සමග එක්ව 10 වැන්නේද ගුරු 11 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වූ ප්‍රතිපල ලබාදෙන වර්ෂයකි.

ධනය :-   ආදායම ක්‍රමයෙන් වැඩිවේ. ධන ලාභ      ලැබේ. මුදල් තත්වය යහපත් වේ. ඉතුරුම් තැන්පත් වැඩිකර ගත හැක. මෙම වසරේදී සැලකිය යුතු ධනවතෙක් විය හැකිවේ.‍ෙ

රැකිරක්ෂා :- වෙළඳ ව්‍යාපාරවල නියුතු අයට  පසුගිය වසරට වඩා ලාභ ඉපයිය හැකි වසරකි. රැකිරක්ෂා වලින් උසස් වේ. නව රැකියා සොයමින් සිටි අයට තමා සොයමින් සිටි ආකාරයේ රැකියා ලැබේ. උසස් තනතුරු නිලතල අපේක්ෂාවෙන් සිටි අයට ඒවා ඉටුවන කාලයකි.


ගෘහ ජීවිතය  :- සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් වේ. අලුතින් ආරම්භ කරන හෝ දැනට කරගෙන ආ කටයුතු වලින් ඇතිවේ. ගෞරව සැලකිලි ලැබෙන පවුලේ වාසනාවන්ත කාලයකි.සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා සේම කාලයක සිට බලාපොරොත්තු වුනු දේවල් ඉෂ්ට සිද්ධ වන කාලයකි.උසස් තත්වයේ ආහාරපාන, හොඳ ඇඳුම් පැළඳුම්, සුඛෝපභෝගි වාහනද ලැබීමට ඉඩ ඇත. දරුවන් බලාපොරොත්තු වන අයට මේ කාලයතුල වාසනාවන්ත දරු උපත් හිමිවේ. එසේම දූ දරුවන්ගේ විවාහ හෝ ඔවුන්ට දූ දරුවන් ලැබීමද, ඔවුන්ගේ තත්වය උසස් වීමද වේ. දූ දරුවන්ටද ගරු සැලකිලි ලැබෙන කාලයකි. දූ දරුවන්ගෙන්ද තමාට හොඳ සැලකිලි ලැබේ. මේ කාලය වාසනාවන්ත කාලයක් වේ. අලුතින් ගෙවල් සෑදීම ආරම්භ වේ.  කටයුතු වල නිරතවන අයට මේ කාලයේදී හොඳ අස්වැන්නක් සහා හොඳ ආදායමක් ලැබේ. පරණ මිතුරන් තමාව සොයාගෙන පැමිණෙන කාලයකි. ධෛර්යය සහා දරාගැනීමේ ශක්තිය වැඩිවෙන කාලයකි. ප්‍රීතිමත් සහා වාසනාවන්ත උත්සව සංගම් පවත්වන්නට හෝ ඒවාට සම්බන්ධවීමට ඉඩ ලැබේ. සුදුසු වයස නම් විවාහය පවා සිදුවේ. නැතහොත් අනියම් කම්සැප ලැබෙන්නට ඉඩ ඇත. අධර්ම ලාභයක්ද ලැබීමට ඉඩ ඇත. වෙන කෙනෙක් මහන්සි වී කරන වැඩක ඵල ප්‍රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. විද්‍යාව හා වාණිජ අංශවලින් ඉගනුම ලබන සිසු දරුවන්ට ඉතා යහපත් වේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා දුර බැහැර පළාත්වලට හෝ විදේශයන්වලට යෑමට හැකියාව ලැබේ.

සෞඛ්‍ය :- ශරීර සනීපය ඇති කරයි. කාලයක පටන් විඳවමින් සිටි රෝගයකින් සුවයක් ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අසනීප තත්වයෙන් විඳවීමට සිදුවේ. මුඛ ආශ්‍රිත රෝග ඇතිවේ. බොහෝවිට ඒ වෙනුවෙන් ලොකු වියදමක් දැරීමට  සිදුවේ.

ශුභ දවස් :- ඉරිදා,අඟහරුවාදා, සෙනසුරාදා

ශුභ වර්ණ :- රතු සහා නිල්

ශුභ අංක :- 1,2,4,5,7,9

වෘෂභ

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු රවි සමග 8 වැන්නේද, රාහු ලග්නයේද, කුජ, සඳු සහා කේතු 7 වැන්නේද, බුධ ශනි 9 වැන්නේද,ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵලාපල ගෙන දෙනු ලබන වර්ෂයකි.

ධනය :- ධනය වැඩි දියුණුවන කාලයකි. තමාට කලක සිට ලැබීමට තිබු ස්ථිර ධනයක් ලැබීමට නියමිතයි. ගුරු මහා දශා අන්තර් දශා ගතකරන අයට වර්ෂයේ මද භාගයෙන් පසු විශාල වශයෙන් ධන ලාභ ලැබේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැවතිගිය රක්ෂාවල් නැවත ලැබෙන්නට ඉඩ තිබේ.වසරේ මද භාගයෙන් පසු රැකිරක්ෂා සහා තනතුරු පිලිබඳ පැටලිලි සහා ආරවුල් මතුවේ. නමුත් ඒවා බුද්ධිමත් ලෙස විසඳාගැනීමට හැකියාව ලැබෙයි.

ගෘහ ජීවිතය :- නොයෙකුත් ක්‍රම වලින් වාසනාව උදාවන්නට ඉඩ ඇත.පදිංචිය ස්ථිර වේ. තමා කරගෙන ආ කටයුතුවල දියුණුවද, අලුත් ඥාති මිත්‍රාදීන් ලැබීමද ඒ අයගෙන් උපකාර ලැබීමද, ගෘහ වාසය සහා ගෘහ ජීවිතය සැපවත්විමද සිදුවේ. එසේම ගෙදරදී කරන කටයුතු සඵල වීමද, ගෘහ අලංකාරය පිණිස අවශ්‍ය බඩු මුට්ටු ආදියද ලැබේ. පෙරදි තිබු කලබලකාරි ගති, අස්ථිර ගති මග හැරි ගොස් ස්ථිර නිෂ්චල ශාන්ත තත්වයට පත්වනු ඇත.විශේෂයෙන් ඉඩකඩම් ගෙවල් දොරවල්වල භුක්තිය ශක්තිමත් වේ. මෙතෙක් තමා විසින් පරිභෝජනය කරගෙන ආ දේපල ඉඩකඩම් තවත් දියුණු කරගත හැකිවේ.තමා ප්‍රසිද්ධ වේ.විශේෂයෙන්ම මේ කාලයේදි අතහැර දමා තිබු වැඩ නැවත පටන් ගැනීමට යහපත් වේ.අඬදබර සහා අවුල් වියවුල් හේතුවෙන් තිබු නඩුහබ වලින් තමාට වාසිය ලැබේ. උසස් අයගේ ආශ්‍රය ලැබේ.

වර්ෂයේ මැද භාගයෙන් පසු පෙර තිබු සැනසිලිගතිය ක්‍රමයෙන් අඩුවේ. වංචා ප්‍රයෝග වැඩවල යෙදී තිබුනේනම් ඒවා හෙලිවී තමන් වැරදිකාරයා බව රටට හෙලිවේ. එබැවින් ඒ ගැන බොහෝ කල්පනාකාරිවන්න. මේ කාලයේදී පහත් හෝ නරක අයගේ ආශ්‍රයට වැටීමට ඉඩ ඇත. නරක සිරිත් විරිත් වලට පුරුදු වන්නට ඉඩ ඇති අතර කේලාම් ඕපාදුප අසන්නට සිදුවේ. පවුලේ වැඩිහිටියෙකුට මාරක අපලයක්ද පෙනේ. තම තනි මතයේම කටයුතු කිරීමට සිතේ. නමුත් ප්‍රීතියද ගෙනදේ. උගතුන්ගේ ආශ්‍රයෙන් ඈත්වේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනයට යහපත් කාලයක් වේ. වර්ෂයේ මැද භාගයෙන් පසු අධ්‍යාපනය පහත වැටීමට ඉඩ ඇත.ඉගෙනීමේ කටයුතු අතපසු වේ.ගණිතය සහා විද්‍යාව අංශවලින් උසස් අධ්‍යාපනය කරන සිසු දරුවන්ට යහපත් කාලයක් වේ.

සෞඛ්‍ය :- ශරීරාබාධ ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කාලයකි.චර්මරෝග වැනිදේ ඇතිවේ.වර්ෂයේ මද භාගයෙන් පසු පෙර තිබු රෝග ක්‍රමයෙන් සුව අතට හැරේ.සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට දණහිස් ආබාධ කෙන්ඩාවල ආබාධ ඇති කරයි.

ශුභ දවස් :- බදාදා,සිකුරාදා,ඉරිදා

ශුභ වර්ණ :- සුදු, ක්‍රීම්

ශුභ අංක :- 6

මිථුන

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ වේ.බුධ ශනි සමග 8 වැන්නේද, කුජ සඳු සහා කේතු 6 වැන්නේද, රවි සිකුරා සමග එක්ව 7 වැන්නේද, ගුරු 9 වැන්නේද, රාහු 12 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මේ වර්ෂය ඔබට යහපත් වේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂාවල වේතනය වැඩිවන කාලයකි. දීමනා ආදියටද හිමිකම් ඇත. වෙළඳ ව්‍යාපාර කරන අයට ඒවායින් ලාභ උපදවා ගත හැකිවේ.

ගෘහ ජීවිතය :- පූජකයන්ගේද, අන්‍ය ආගමිකයන්ගේද, අන්‍ය ජාතිකයන්ගේද, ආශ්‍රය ඇතිවීමත් ඔවුන්ගේ උපකාර ලැබීමටත් නියමිතයි.අලුත් උසස් පූජකවරුන්ගේ ආශ්‍රය හිමිවේ.තමාට වාසනාව උදා කරන කාලයක් වේ.ප්‍රීතිමත් දුර බැහැර වන්දනා ගමන් යෑමට අවස්ථාව ලැබේ.නිවසේදී හෝ පිටතදී වැඩිපුර ආගමික කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.ආගමික භක්තිය වැඩිවේ.මේ වකවානුවේදී වාසනාව උදාකර ගැනීමට නම් නිවසේ සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ.එබැවින් මේ කාලයේ ගෙදර අතහැර පිට පළාත්වල වාසයට හෝ ආශ්‍රයට යාමට හොඳම කාලය වේ.යහපත් වූද, මිහිරි වූද උසස් ආහාරපාන ලැබෙන කාලයකි.අලුත් ඇඳුම් පැළඳුම්, රෙදිපිළි ආදිය හිමිවේ.සුදුසු වයසක නම් විවාහය ස්ථිර වේ.දූ දරුවන්ගේ තත්වය උසස් වේ.ප්‍රසිද්ධිය ඇති වී ආදායම ඉහල යයි.පවුලේ පිරිස වැඩිවේ.පවුලේ අයට දූ දරුවන් ලැබීමට හේතුවේ.යකඩ,යන්ත්‍ර සුත්‍ර වාහන ආදි කර්මාන්ත ගැන ඉගෙනීමට ලැබේ.ඒ පිළිබඳව කටයුතු කරන අය හා ආශ්‍රයට ලැබේ.  නිතර නිතර මිතුරන් හමුවීමට යෑමට සිදුවේ.උගතුන්ගේ ආශ්‍රය ඇතිවේ.සතුරන්ගෙන් ඊර්ෂ්‍යාව මතුවේ.එහෙත් ඒවායින් කරදර හානි සිදු නොවේ.යහපත් සේවක සේවිකාවන් ලැබේ.අමුතු විදියේ අලුත් මිත්‍රයන් ලැබේ.සමාජයේ හොඳ තත්වයක් ඇතිවේ.වැඩිපුර පිංකම් ආදී සුචරිත ක්‍රියාවන්හි යෙදී වාසය කිරීමට අවස්ථාව ලැබේ.තමන් දැන හඳුනන පිරිස වැඩිවේ.හිත මිතුරන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබේ.

සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට තරමක කරදරකාරී කාලයක් වේ.සිතේ දුක් සහිතව කාලය ගත කිරීමට සිදුවේ.ලෙඩරෝග ආදියෙන් පීඩා ඇතිවේ.හදිසි අනතුරු ආදිය ඇතිවිය හැකි බැවින් මේ කාලය කල්පනාකාරීව ගත කල යුතුවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින සිසු දරුවන්ට මේ කාලයේදී අලුත් උසස් ඉගෙනීම් වලට යොමුවන්නට සිදුවේ.තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබේ.විවිධ භාෂා පිලිබඳ  වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබේ.

සෞඛ්‍ය :- ශරීර සනීපයද යහපත්වේ.සෙනසුරු මහා දශා අන්තර් දශා ගත කරන අයගේ සෞඛ්‍ය තත්වය අයහපත් වනු ඇත.විශේෂයෙන් තමාගේ දරු ශිෂ්‍ය ආදීන්ට අසනීප ලෙඩ රෝග ආදිය සැදීමට ඉඩ ඇති අතර ස්නායු සම්බන්ධ අසනීප ඇති කරයි.

 ශුභ දවස් :- බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා

ශුභ වර්ණ :- කොළ, කහ

ශුභ අංක :- 3,5

 

කටක

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු කුජ සහා කේතු සමග 5 වැන්නේද, රවි සිකුරු 6 වැන්නේද, බුධ හා ශනි 7 වැන්නේද, ගුරු 8 වැන්නේද ගෝචර කරමින් ඇරඹෙන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙනදෙන වර්ෂයක් වේ.

ධනය :- ධන ලාභ ලැබේ.වසර මැද භාගය දක්වා ක්ෂණිකව ලැබෙන ලාභ ලැබේ.වෙළඳ ව්‍යාපාර කරන යට ඒවායින් හොඳ ලාභ උපදවා ගත හැකිවේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂා තනතුරු ආදිය අලුතෙන් ලැබේ.තිබූ තනතුරු ස්ථිර වේ.එහෙත් වර්ෂය මැද භාගයේදී රැකියාව මාරුවේ.ස්ථාන මාරුවීම් ආදිය සිදුවිය හැක.

ගෘහ ජීවිතය :- තමාට හෝ අඹු දරුවන්ට විපත්ති, කරදර, මාරක බිය ආදී අපල ඇතිකරන කාලවකවානුවකි. විවාහක අයට අනියම් ස්ත්‍රී පුරුෂයන්ගේ ආශ්‍රය ඇතිවේ. විවාහවීමට සිටින සහකරුගේ හෝ සහකාරියගෙන් තමාට ආදර උපකාර ලාභ ප්‍රයෝජන හිමිවේ.තවද ස්ත්‍රීන්ට වැඩිහිටි පුරුෂයෙකුගෙන් උදපදව් ලැබේ.උරුමයෙන් හෝ මහලු ස්ත්‍රීන්ගෙන්, වැඩිහිටි පුරුෂයන්ගෙන් උපකාර ලැබෙන කාලයකි.කම්සැපද ලැබෙනවා ඇත.නිතර නිතර වන්දනා ගමන් යාමට ඉඩ ලැබේ.විශේෂයෙන්ම වර්ෂයේ මැද භාගයෙන් පසුව පිට පළාත්වලදී කරන කටයුතු වලින් හෝ පිට පළාත්වල අය හා කරන ගනුදෙනුවලදී තමාට වාසි සහා සහන සැලසේ.ලාභ ප්‍රයෝජනද ලැබේ.ස්ථාන වෙනස්වීම්ද සිදුවේ.තමාම යම් යම් දේ සොයාගැනීමෙන් උසස්වීමට ඉඩ ලැබේ.තද උත්සාහයෙන් කරන වැඩවලින් ප්‍රයෝජන ලැබේ. එය බොහෝවිට අධාර්මික ක්‍රියාවලින් වියහැකිය.මේ කාලය තුලදී තමා තුලදී තම තුල තිබූ මනුෂ්‍ය ගුණධර්ම හීන වී යයි.අන් අයගේ විවාහ ආදියට මග පෙන්වීමට ඉඩ ලැබේ.ගෙවල් ඉඩම් හෝ ගෙවල් සෑදීමට අවශ්‍ය උපකරණ හෝ ගෘහ භාණ්ඩ ආදිය පහසුවෙන් ලැබෙනවා ඇත.උගතුන්ගේ ආශ්‍රයෙන් ඈත්වේ.එහෙත් එය තාවකාලිකවේ.අවුල් වියවුල් වලින් නිදහස ලැබේ.

රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට වර්ෂයේ මැද භාගයෙන් පසුව කණගාටුදායක හා සිත් කරදරවන සිදුවීම් ඇතිවේ.සතුරන් නිසා නිතර සිතට බිය හා සැක ඇතිව ජීවත්වීමට සිදුවේ.තමා විසින් කරගෙන ආ කටයුතු කඩා බිඳවැටීම් හෝ ඒවාට බාධා සිදුවේ.මේ කාලයේදී අලුතෙන් කිසිම දෙයක් ආරම්භ කිරීම සුදුසු නොවේ.බලාපොරොත්තු කඩවේ.තමාගේ ලඟම ඥාතියෙකුට හෝ හිතවතෙකුට මාරකයක් නියමිතයි.

අධ්‍යාපනය :- ගුප්ත විද්‍යාව ආදිය ඉගෙනීමටද, ඉගෙනගත් අයට ඒවායින් ප්‍රයෝජන ලැබීමටද ඉඩ ලැබේ.වර්ෂය මැද භාගය දක්වා   තරඟ, වාදවිවාද, විභාග ආදිය සඳහා යහපත් කාලයක් උදා නොවනු ඇත.

සෞඛ්‍ය :- බඩේ අමාරු සහා බඩවැල් ආශ්‍රිත රෝග සෑදීමට ඉඩ තිබේ.අසනීපයක් වැළඳුනහොත් ඉතා අමාරුවේ.කාන්තා පාර්ශ්වයේ අයගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවේ.

ශුභ දවස් :-ඉරිදා,අඟහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා

ශුභ වර්ණ :- සුදු, ක්‍රීම්

ශුභ අංක :- 2,7,9

සිංහ

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි සිකුරු සමග 5 වැන්නේද, ශනි බුධ සමග 6 වැන්නේද, ගුරු 7 වැන්නේද, රාහු 10 වැන්නේද, සඳු කුජ සහා කේතු සමග 4 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය :- ධන ලාභ ලැබේ.ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගනුදෙනුවකින් ලාභයක් ලැබේ.වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ.රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට අලුත් වැඩකට හෝ රැකියාවකට යාමට සිදුවේ.නමුත් එම වෙනස්වීම එතරම් යහපත් නොවනු ඇත.

රැකිරක්ෂා :- රැකිරක්ෂා වලට තරමක් හොඳ වුවත් වියදම් පක්ෂය අධික කරනවා ඇත.

ගෘහ ජීවිතය :- අනුන් සමග එකට සහකාරකම් { හවුල් } ඇතුව යම් යම් ව්‍යාපාර පටන් ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.මේ කාලය තුලදී තම ගෞරවය කෙලෙසෙන වැඩවලටද සිත දුවන බැවින් ඒ හැමදෙයින්ම වැලකී කටයුතු කලයුතුය.තම භාර්යාවගේ හෝ ස්වාමියාගේ කටයුතු වලට සහභාගී වීමට සිදුවේ.වැදගත් අය සමග ආශ්‍රයෙන් ප්‍රයෝජන ලැබේ.පවුලේම හෝ ලඟම ඥාතියෙකුගේ විවාහයක් සිදුවීමටද ඉඩ ඇත.විවාහ පක්ෂයේ ඥාතින්ගේ ආශ්‍රය අඩු කලයුතු කාලයකි.ඔවුන්ගෙන් කරදර මතුවිය හැක.විනෝදය උදෙසා ඉන්ද්‍රියන් පිනවීම සඳහා අධික ලෙස වියදම් කිරීමට සිත්වේ. ස්ත්‍රීන්ගෙන් පුරුෂයන්ටද පුරුෂයන්ගෙන් ස්ත්‍රීන්ටද ලාභ ප්‍රයෝජන ලැබේ.තරුණ පක්ෂයේ අයට ආදර බන්ධන ඇතිවේ.සුදුසු වයස නම් මංගල යෝග උදාවේ.විවාහය සිදුවීමට හෝ අනියම් කම්සැප ලැබීමට ඉඩ තිබේ.ශරීරයේ බර වැඩිවේ.ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට තදබල අපල කිසිවක් ඇති නොවේ.ස්ත්‍රියකට නම් ආශ්‍රයට වැටෙන විවාහ සහකරුගෙන් තමාට ආදාර උපකාර ප්‍රයෝජන ලැබේ.විවාහක අයටනම් අනියම් ස්ත්‍රී පුරුෂයන්ගේ ආශ්‍රයට වැටේ.මෙය බොහෝවිට වර්ෂයේ මද භාගයෙන් පසු සිදුවේ.ශනි මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතෙන සිතෙන වෙලාවට ගමන් බිමන් ආදිය යාමටද ඉඩ ලැබෙන නිදහස් කාලයක් විය හැක.නිතර නිතර හිතවතුන් සමග ගමන් යාමටද පහසුකම් සැලසේ.තම දේපල දියුණුවේ.

වර්ෂයේ මැද භාගයෙන් පසු මානුෂීය ගුණධර්ම හීන වී යයි.කේලාම් ඕපාදුප නිසා සිත්තැවුල් ඇතිවේ.තමා අතින් පව් වැඩ කිහිපයක් සිදුවීමට ඇති නිසා මේ කාලයේදී කල්පනාකාරී වියයුතුයි.රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන්ම මෙම කරදරවලට මුහුණපෑමට ඉඩ ඇත. සතුරන්ද ඊර්ෂ්‍යාකරුවන්ද ඇතිකරයි.ඔවුන්ගෙන් කරදර සහිත කාලයක් වේ.ගෘහවාසීන් සමගත් අන් අය සමගත් අවුල් වියවුල් ඇතිකර ගනී.

අධ්‍යාපනය :- ඉගෙනීම් කටයුතු වලටත් ප්‍රසිද්ධවීමට කරන වැඩ වලටත් බොහෝ සේ බාධා සිදුවීමට හේතුකාරනා යෙදේ.කරගෙන  ආ අධ්‍යාපන කටයුතු වසර මැද භාගයේදී වෙනස් කිරීමට සිදුවේ.

සෞඛ්‍ය :- තම භාර්යාව හෝ ස්වාමියා අසනීපයෙන් සිටියානම් එම අසනීපය තදබල ලෙස උත්සන්න වේ.හිරිවාත, බඩේ අමාරු, අජීර්ණ ආදී රෝග මෙන්ම හෘදයාබාධයන් සෑදීමට ඉඩතිබේ.

ශුභ දවස් :- ඉරිදා,අඟහරුවාදා,බදාදා,සිකුරාදා

ශුභ වර්ණ :- රතු

ශුභ අංක :- 1,4

කන්‍යා

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ශනි සමග 5 වැන්නේද, ගුරු 6 වැන්නේද, රාහු 9 වැන්නේද, චන්ද්‍ර කුජ කේතු 3 වැන්නේද, රවි සිකුරු 4 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය :- ආදායම හොඳ වේ.ධන ලාභද ලැබේ.එහෙත් ලැබෙන ලාභ ප්‍රයෝජන ස්ථිර සහා ඒකාකාරී නොවේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂා කටයුතු කැඩී බිඳී යයි.තම රැකියාවේ හෝ වැඩ කරන කාර්යාලයේ වෙනසක් වෙනසක් කරගැනීමට සිතේ.රැකිරක්ෂා නිලතල ආදිය පිලිබඳ දිනපතා කරගෙන එන වැඩ පිළිවෙල නිතරම පාහේ කරදර සහිතව කරන්නට සිදුවේ.

ගෘහ ජීවිතය :- සිතට ගතට සැප ඇතිකරන දේවලින් ඈත්වීමටත් ඒවා නොලැබී යාමටත් හේතුවේ.සතුරන් ඇතොත් ඔවුන්ගෙන් විපත්ති ඇතිවේ.මේ කාලය තුලදී ස්වල්ප වශයෙන් මිස වැඩිපුර ලාභ නොලැබේ.සුලුදේ ලොකුවට පත්වීමෙන් අමාරුවකට වැටේ.මේවා වැඩිපුර සිදුවන්නේ ඉක්මන්කමත්, සිත දමනය කරගැනීමට නුපුලුවන්කමත් නිසාවෙනි.දරුවන් බලාපොරොත්තුවන කාන්තාවන්ට නම් තදබල අමාරුකම් ඇතිවිය හැක.ඒ වෙනුවෙන් තදබල වියදම් දරන්නට සිදුවේ.දරු ශිෂ්‍යයන් නැති අයට, තම මවුපියන්ට කණගාටුවීමට කරුණක් සැලසේ.වැඩිහිටි දරු ශිෂ්‍යන් ඇති අයට නම් ඔවුන්ගේ හිතුවක්කාරකම් පිළිබඳව ඔවුන් සමග අමනාපකම් ඇතිවීමටද ඉඩ තිබේ.සමහරවිට දරුවෙකුට කලක් පවතින විඳවන රෝගයක් වැළඳීමට ඉඩ ඇත.නීතිය පිලිබඳ කටයුතු වලදී ගැටළු මතුවේ.ගෞරවය කෙලෙසන වැඩවලට සිත දුවන බැවින් ඒවායින් වැලකී සිටිය යුතුයි.කාමුක අදහස් මැඩපවත්වා ගත යුතුවේ.පාපයකට බැඳෙන්නට සිදුවේ.අවකල් ක්‍රියාවකට අසුවේ.පහත් අයගේ ආශ්‍රය ඇතිවේ.මේ කාලයේදී වෙහෙස ඇති ගමන් බිමන් යාමටද සිදුවේ.පවුලේ කෙනෙකුට මාරක ඇති කිරීමට හැකියි.සමහරවිට ගෙදරින් වෙන්වී කටයුතු කිරීමට සිදුවේ.නඩු හබ වලට අසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදුවේ.සිතට බිය ඇතිවන කාලයකි.

වර්ෂයේ මැද භාගයෙන් පසු තිබූ කරදර මදකට අඩුවී යයි.ශරීර ශක්තිය වැඩිවේ.පෘෂ්ඨිමත් වේ.දේශපාලන වැඩට හෝ සමාජයේ වැඩවලට යොමුවන අයට එයින් දියුණුව ඇතිවේ.ඒ තුලින් තමාගේ තත්වය උසස් වේ.තරුණ අයට ආදර බන්ධන ඇතිවේ. අනුන් සමග එකට හවුල් ව්‍යාපාර පටන් ගැනීමට ඉඩ ලැබේ.සහෝදර සහෝදරියන්ගෙන් සහා අසල්වාසීන්ගෙන් උපකාර ලැබේ.ශරීර ව්‍යායාම වැනිදේට කැමති වේ.ගෘහස්ත කර්මාන්ත ආරම්භ කිරීමට යහපත් කාලයක් වේ.ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් කම්සැප ලැබෙන කාලයකි.

අධ්‍යාපනය :- අලුත් දේ ඉගෙනීමට ඉඩ ලැබේ.වර්ෂයේ මැද භාගයෙන් පසු අධ්‍යාපන කටයුතුවල උස් පහත්වීම් ඇතිවේ.භාෂා පිලිබඳ ඉගෙනීමට හැකිවේ.

සෞඛ්‍ය :- ශරීර අබාධ වලටද හේතු ඇතිවේ.හදිසි අසනීප බරපතල ලෙස ඇතිවීමටත් ඇතැම්විට හදිසි අනතුරු ඇතිවීමටත්  ඉඩ ඇත.පවුලේ කිහිප දෙනෙකුටම අසනීපවලින් පීඩා විඳින්නට සිදුවේ.තමාත් සමග එකවර කීප දෙනෙකුම අසනීප වන්නට ඉඩ ඇත.ඒවා බොහෝවිට අමුතුම අසනීප විය හැක.වසංගත රෝග පවා සැදීමට ඉඩ ඇත.

ශුභ දවස් :- බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා

ශුභ වර්ණ :- කොළ

ශුභ අංක :- 2,3,5,7

තුලා

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු රවි සමග 3 වැන්නේද, බුධ ශනි 4 වැන්නේද, ගුරු 5 වැන්නේද, රාහු 8 වැන්නේද, චන්ද්‍ර කුජ සහා කේතු 2 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය :- දේපල වලින් ලැබෙන අදායම පිලිබඳ කරදර සහා පාඩු සිදුවේ.මුදල් තත්වය පහල බසී.ආදායම් පක්ෂයේ කොටසක් පහල බසී.

රැකිරක්ෂා :- රැකිරක්ෂා වල තිබුන තත්වයද අඩුවේ.වෙළඳ ව්‍යාපාර වලින් පාඩු සිදුවේ.ලාභ අඩුවේ.රැකිරක්ෂා උසස්වීම්වලට බාධා හෝ වෙනස්වීම් ඇති කරයි.

ගෘහ ජීවිතය :- සිතට නිතරම කරදර හා දුක් ඇතිකරන කාලයකි.හදිසි අලාභ හානි ජලගැලීම් වලින්,කුණාටුවලින් කඩාබිඳවැටීම් වලින් පාඩුද ඇතැම්විට දක්නට ලැබේ.විශේෂයෙන් ගෙදර දොර අබලන් තත්වයට වැටෙන කාලයකි.මව්පියන් සමග අමනාපකම් ඇතිවේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරකයක් සිදුවේ.ඇතැම්විට නිෂ්ඵල දේපල වලට නඩු හබද පැටලෙන්නට පුළුවන.යෙදෙන සෑම කටයුත්තක්ම කරදරයක් සේ හැඟෙයි.මේ කාලයේ ස්ථාන හෝ තනතුරුද මාරු කර ගැනීම තමාට කරදරයකට සහා අවාසියකට හේතුවේ.වැඩට තිබූ දක්ෂකම නැතිවේ.කම්මැලිවේ.පහසුවෙන් බේරුම් කරගතව හැකියාව තිබූ අවුල් වියවුල් ආදිය ලොකු කරදරවලටද පැටලිලිවලටද පත්වේ.සමහර අයට පහත් මිනිසුන්ගේ බලහත්කාරකම් වලට මුහුණදීමට සිදුවේ.සොර සතුරන්ගෙන් පාඩු සිදුවීමද කරදර අධිකවීමද  දුක් විපත් වැඩිවීමද නියමයි.

ගුරු මහ දශාව අන්තර් දශාව ගතකරන අයට වර්ෂයේ මැද භාගය දක්වා කරන වැඩ කටයුතු සාර්ථක දියුණුවට මග සැලසෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ.අන් අයට වඩා තමන්ගේ තත්වය උසස් වේ.තමන් දැනට කරගෙන ආ කටයුතුද අමුතුවෙන් ආරම්භ කරන කටයුතු වැඩිදියුණුවට පත්වේ.

අධ්‍යාපනය :-  ඉගෙනීම් වලින් පහල බසී.විභාග වලට ශුභ කාලයක් නොවේ.

සෞඛ්‍ය :- ශරීර සනීපය අඩු කරයි.තම මවට විශේෂයෙන් වාත රෝග ආදී අසනීප තත්ව ඇති කරයි.අත් පා වලට සෑදෙන හිරිවාත අමාරු ස්නායු අමාරු ඇති කරයි.

ශුභ දවස් :- අඟහරුවාදා,බදාදා,සිකුරාදා,සෙනසුරාදා

ශුභ වර්ණ :- සුදු, ක්‍රීම්

ශුභ අංක :- 6

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ස්වාක්ෂේත්‍රව කේතු සහා සඳු සමග ලග්නයේද, රවි සිකුරු සමග 2 වැන්නේද, බුධ ශනි 3 වැන්නේද, ගුරු 4 වැන්නේද, රාහු 7 වැන්නේද ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙනදෙනු ලබන වර්ෂයක් වේ.

ධනය :- ධන ලාභ ලැබේ.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවන ආයෝජකයින්ට මහා පරිමාණයෙන් ධන ලාභ ලැබේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂා වලින් උසස්වීම් හා සමාජයේ තත්වය ඉහල යයි.අලුතින් තනතුරු ආදිය ලැබේ.රැකියා වලින් දියුණුවද ඇතිවේ.

ගෘහ ජීවිතය :- වර්ෂයේ මැද භාගයෙන් පසු තමා කැමති ආකාරයට බඩු භාණ්ඩ ආදිය රැස් කරගැනීමට හැකිවේ.තමාට අවශ්‍ය බඩු මිලයට ගැනීමට හැකියාව ලැබේ.මෙහෙකරුවන් සහා සේවකයන් ආදිය ලැබේ.පුරුෂයන්ට ප්‍රියකරු ස්ත්‍රීන් සමගද ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද ආශ්‍රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ.සතුරන් පරාජය කර තම තත්වය උසස් කරගැනීමට හැකියාව මේ කාලයේ උදාවේ.වෙළඳ ව්‍යාපාරවල නිරතවන අයට මුදල් යොදවා ආරම්භ කරන ව්‍යාපාරවලින් හොඳ ලාභ ලැබේ.ලෝහ වර්ග වලට සහ වාහන වලට හෝ ඒවාට අවශ්‍ය දේ මිලදී ගැනීමට අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවේ.හිතේ ධෛර්යය, නිර්භීතකම උත්සාහවන්තව කටයුතු කිරීමේ හැකියාව වැඩිදියුණු වේ.නමුත් සමහර අවස්ථාවලදී හිතුවක්කාරී අදහස් දඩබ්බර ගති මතුවේ.ශරීර උෂ්ණත්වය අධික කරයි.

සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගය දක්වා සහෝදර සහෝදරියන්, අසල්වාසීන් ආදීන්ගෙන් ආධාර උපකාර ලැබේ.එසේම උසස් අය හා ආශ්‍රය ඇතිවේ.ඔවුන්ගෙන් ලාභ උපකාරද ලැබේ. ප්‍රීතිමත් ප්‍රියසම්භාෂණ වලට ආරාධනා ලැබේ.ගව,මහීෂ ආදී තිරිසන් සතුන්ද ලැබෙනවා ඇත.ගෙවල්, ඉඩම්, කුඹුරු ලැබෙන කාලයකි.සමහරවිට පරම්පරාවෙන්, වැඩිහිටියන්ගෙන් තමාට දේපල පවා ලැබෙන්නට හේතුවේ.දරු ලාභද ලැබේ.කලින් හමුනොවූ හිතවත් ඥාතින් සමග ආශ්‍රයට වැටේ.අලුත් හිත මිතුරන් ඇතිවේ.

අධ්‍යාපනය :- විභාගවලින් ජය ලැබේ.විදේශ අධ්‍යාපනය සඳහා යොමුවීමට බලාපොරොත්තුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් අවස්ථා උදාවනු ඇත.එය බොහෝවිට වර්ෂයේ මැද භාගයෙන් පසු සිදුවේ.

සෞඛ්‍ය :- ශරීරය නිරෝගී කරයි.පෙර තිබූ අසනීප ආදිය ක්‍රමයෙන් සුව අතට හැරේ.නමුත් ස්නායු ආබාධ ආදී රෝග තත්ත්ව ඇතිකරයි.ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය.

ශුභ දවස් :- ඉරිදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා

ශුභ වර්ණ :- රතු

ශුභ අංක :- 1,2,4,5,7

ධනු

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති 3 වැන්නේද, රවි සිකුරු සමගින් ලග්නයේද, බුධ ශනි 2 වැන්නේද, රාහු 6 වැන්නේද, සඳු කුජ සමග කේතු 12 වැන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය :- ධනය හානිවේ.අධික වියදම් ඇති කරයි.එසේම නිෂ්ඵල දෙයට මුදල් හා ධනය වැයවේ.වර්ෂයේ මැද භාගය දක්වා මිල මුදල් අතින් තද අවහිරකම් ඇති කරයි. මුදල් රඳන්නේ නැති කාලයකි.

රැකිරක්ෂා :- රැකිරක්ෂා හානි වියහැකිය.තමා අකමැති පුද්ගලයන් සමග රැකියා ස්ථානයේද කටයුතු කිරීමට සිදුවේ.තම සේවය පිළිබඳව අඩුපාඩුකම් හා ගැරහුම්වලට ලක්වීමට සිදුවෙයි.සමහරවිට රක්ෂාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට පවා සිදුවේ.

ගෘහ ජීවිතය :- හදිසි අනතුරු විපත් ඇතිවිය හැක.සැප පහසුව නැති කරයි.ණයතුරුස් වැඩිවිය හැක.තමා කරන වැඩ පිලිබඳ තමන්ට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නොමැති වේ.නෑදෑයන්ගෙන් දුක් කරදර මතුවේ.ගොවිතැන් කටයුතුවල නිරතවන අයගේ ආදායම අඩුවේ.දේපල පිලිබඳ පැටලිලි මතුවේ. සමහරවිට නඩුහබවලට පවා මැදිහත්වීමට හේතුවේ.රැවටීමකට හෝ වංචාවකට හසුවීමට වේ.බොහෝවිට එය තමා ලඟින්ම ආශ්‍රය කල තමාගෙන්ම උපකාරගත් කෙනෙක්ම විය හැකිය. ගෙදර පදිංචිය පිලිබඳ කරදර ඇතිවේ.තමාට අයිති යම් යම් ද්‍රව්‍ය වර්ග විනාශ වේ.මේ කාලය විවාහ ගිවිසුම් ආදර බන්ධන අශුභ කාලයකි.දියුණුවට බාධා සිදුවේ.නමුත් තමාට නිවසක් ඉදිකිරීමට අවස්ථාව සැලසේ.බොහෝවිට එය ප්‍රමාණයෙන් විශාල නිවසක් වෙයි.භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග අමනාපගති අසමගිකම් ඇතිවේ.නොකළ වැරදිවලට දඬුවම් ලැබෙන කාලයකි.සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන් නිසාද හිතට බයක් සැකක් ඇතිව කාලය ගතවේ.කරදරකාරිවූද,වියදම් අධිකවුද, නිෂ්ඵලදායක වුද ගමන් නිතර යෙදේ.බොහෝවිට අනුන්ගෙන් යැපීමට සිදුවේ.කම්මැලි සහිත කාලසීමාවක් වේ.උනන්දුව නැතිවී යයි.කරගෙන ආ කටයුතු වලට බොහෝ සේ බාධා ඇතිවේ.පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇතිකරයි.පවුලේ හිතවතෙකුගේ ඥාතියෙකුගේ මරණයක්ද නියමයි.තමාට තදබල නින්දාවක් අපහාසයක් විඳින්නට සිදුවේ.ගිනි බිය ඇතිවේ.ගින්නෙන් පාඩුද සිදුවේ.නරක වැඩවලට ඉබේටම හිත දුවන කාලයකි.අනුන්ගෙන් පලිගැනීම ආදිය සිදුකිරීමට සිතෙන බැවින් තමාගේ සිත දමනය කරගැනීම මේ කාලයේදී සිදුකල යුතුවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ.තරඟ විභාග වලින් පරාජය වේ.කලින් කරගෙන ආ විෂය මාලාවන් වෙනස්ම අතකට හැරේ.

සෞඛ්‍ය :- ශරීර සනීපය නැතිකරයි.ශරීර ආබාධයක් ඇතිවිය හැක.මේ කාලයේ රුධිර පීඩනය හෝ රත්පිත ගතියද මතුවේ.සුළුවශයෙන්වත් තුවාලයක් හෝ ආබාධයක් ඇතිවුවහොත් එය තදබල අසාධ්‍ය තත්වයකට හැරේ.

ශුභ දවස් :- ඉරිදා,බදාදා,සිකුරාදා,සෙනසුරාදා

ශුභ වර්ණ :- කහ

ශුභ අංක :- 3,5,6,8

මකර

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි බුධ සමග ලග්නයේද, ගුරු 2 වැන්නේද, රාහු 5 වැන්නේද, කුජ,කේතු සහ සඳු 11 වැන්නේද, රවි සහ සිකුරු 12 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය :- මුදල් හිඟ කාලයකි.ස්ථිරව තිබූ ධනය නොසිතූලෙස වියදම් වෙයි.ණය වීමට පවා ඉඩ ඇත.ධන හානියක් ඇතිවීමට හැකිය.

රැකිරක්ෂා :- කරගෙන ආ රැකිරක්ෂා ඉතා උත්සාහවන්තව කරගෙන ගියහොත් තරමක සැනසීමක් ලබාගත හැක.රක්ෂාවෙන් තරමක් හොඳ වුවත් වියදම් පක්ෂය අධික වේ.නමුත් රැකිරක්ෂා සඳහා සතුරු පීඩා ආදිය ඇතිවේ.

ගෘහ ජීවිතය :- ඉඩම් හෝ වටිනා බඩු උකසට තබන්නට හෝ තමාට අතහැර දමන්නට සිදුවේ.තමාගේ ගේ දොර, ගම, වාසය අත්හැර දමන්නට සිදුවේ.ස්ථිර ගොඩනැගිලි වැඩ කරගෙන යන අයට ඒ පිළිබඳව පැටලිලි පාඩු ඇතිවේ.බලකිරිමකට යටත්වී ඉවත්ව යාමට සිදුවේ.තම කටයුතු හා වැඩපිළිවෙල ක්‍රමානුකූලව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව නොලැබේ.දේපල පිලිබඳ කරදර මතුවේ.තමා කාලයක් සිට ආශ්‍රය කල හිතවත් ඥාති මිත්‍ර පිරිසෙන් ඈත්ව අප්‍රසිද්ධව වාසය කිරීමට සිදුවේ.කරගෙන ආ නම්බුකාර කටයුතු අතහැර දමා පහත් සුළු සේවක වැඩට බැසීමට සිදුවේ.සතුරන් වෛරක්කාරයන් ඇතිවේ.බර වැඩ කටයුතුවලට බසින්නටද සිදුවේ.එසේම මේ කාලසීමාව තුල මවට  හෝ පියාට විපත්තිදායකයි.තද ලෙස මානසික පීඩා තත්වයක් හටගනී.හදිසි දුක් කණගාටු ගැන නිතරම බලාපොරොත්තුවෙන් සිටිය යුතු කාලයකි.ගමන් බිමන් යන අතරමගදී බොහෝ සේ කරදර පීඩාවන් අතරමං වීම් ආදියට මුහුණ පෑමට සිදුවේ.එබැවින් සෑමවිටම පරිස්සමින් සහ සුදානමින් කාලය ගත කල යුතුය.මුරණ්ඩු අදහස් පහළවන කාලයක් වේ. අලුත් වගකීම් භාරගැනීමට සිදුවේ.ඉවසීමේ ශක්තිය අඩුවේ.තම භාර්යාවටද තදබල අපල ඇතිකරන කාලයකි.අඹු සැමි දෙදෙනා අතර නිතර නිතර අසමගිය, වාදභේද හෝ සමහරවිට දෙදෙනා වෙන්වියාමට පවා ඉඩ ඇතිවේ.ඒ නිසාම මේ කාලය තුල බොහෝ සෙයින් ඉවසීමෙන් කටයුතු කලයුතු වේ.ශරීරයට ඉතා වෙහෙසකර තත්වයක් ඇතිකරයි.විශේෂයෙන් මානසික පීඩා බහුලව යෙදේ.නිකරුනේ කාලය ගතවී යයි.වාහන ලාභයක්ද ලැබීමට ඉඩ ඇත.එහෙත් එයින් සිතේ සැනසීම ඇති නොකරයි.

වර්ෂයේ මැද භාගය දක්වා තරමක දියුණුවක් ඇති කරයි.හිතවතුන් හිතවතියන් සමග ප්‍රියමනාප ලෙස කථා කර කර සිටීමට අවස්ථාව ලැබේ.විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට ලාභ ලැබෙන සැප ලැබෙන කාලයක් වේ.සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප ලාභ හෝ ස්ත්‍රී සැප ඇතිවේ.

අධ්‍යාපනය :- මේ කාලය තුලදී ඉගෙනීම් කටයුතු පහත බසී.විවිධ හේතු නිසා අධ්‍යාපන කටයුතු කඩා බිඳ වැටීම නිසා අධ්‍යාපන කටයුතු පහත වැටීම් සිදුවේ.

සෞඛ්‍ය :- ශරීර සෞඛ්‍ය යහපත් නොවේ.අසනීපයක් තිබුනේනම් එය වැඩිවේ.ශරීරයේ බර අඩුවේ. හෘදයාබාධ, වාතාබාධ ඇතිවීමට ඉඩ ලැබේ.

ශුභ දවස් :- අඟහරුවාදා,බදාදා,සිකුරාදා,සෙනසුරාදා

ශුභ වර්ණ :- නිල්

ශුභ අංක :- 6,8,9

කුම්භ

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි බුධ සමග 12 වැන්නේද, ගුරු ලග්නයේදී රාහු 4 වැන්නේද, කුජ කේතු සමග සඳු 10 වැන්නේද, රවි සිකුරු 11 වැන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙනදෙනු ලබන වර්ෂයකි.

ධනය :- මිල මුදල් ලාභ ලැබේ.ධන ලාභද ලැබේ.තැන්පත් ධනය දියුණු කරගැනීමට අවස්ථාව සැලසේ.වෙලහෙළඳාම් වලින් ලාභ ලැබේ.

රැකිරක්ෂා :- මේ කාලයේදී රැකිරක්ෂා තනතුරු ආදිය පිළිබඳව, තත්වයෙන් උසස්වීමක් පිළිබඳව වෑයම් නොකල යුතුයි.ස්ථාන මාරුවීමකටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

ගෘහ ජීවිතය :- උසස් අය සමග ආරවුල් හෝ උසස් අය තමන් සමග අප්‍රසන්න වීමට හෝ හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමින් හා නුවනින් යුක්තව ක්‍රියා කලයුතු කාලයකි.එසේම උසස් අයගේ ඇසුරෙන් හැකිතාක් දුරට ඈත්ව වාසය කිරීම යහපතකි.මේ කාලයේදී තමාගේ නම නරක්වීමට හේතුවේ.නින්දා, අපවාද, පරාජය ඇතිවේ.සිතේ තිබුන ප්‍රීතිය සමාදානය නැතිවේ.සිත් තැවුලෙන් යුක්තව කාලය ගෙවා දැමීමට සිදුවේ.එක පිට එක කරදර වැඩිවේ.සතුරන් සහ ඊර්ෂ්‍යාකාරයන් ඇතිවේ.සතුරන්ගෙන් කීපදෙනෙක්ගෙන් වැඩිදෙනෙක් තමන්ගෙන් උපකාර ගත් අය විය හැක.තමාගේ තත්වය පහල දැමීමට සහ නම නරක් කිරීමට නිතරම ඔවුන් උත්සාහ කරනවා ඇත.සහෝදර සහෝදරියන්ගේ මස්සිනාවරුන්ගේ ක්‍රියාවන් නිසා තමා සිත්තැවුලට පත්වේ.ගොවිතැන් කටයුතුවල නිරතවන අයට ඒවායෙන්ද ආදායම අඩුවේ.සමාජසේවා වැඩවල නිරතවීමට අවස්ථාව හිමිවේ.පවුලේ කෙනෙකුට විපත්තිදායකයි.

වර්ෂයේ මැද භාගයෙන් පසු පෙර තිබූ තත්වය තරමක් වෙනස් අතකට හැරේ.ඥාතිමිත්‍රාදීන්ගෙන් තමාට උදව් ලැබේ.ප්‍රිය සම්භාෂණ, ප්‍රිය මිතුරු මිතුරියන් ඇතිවීමට අවස්ථාව ලැබේ. ධාර්මික කටයුතුවල නිරතවීමට අවස්ථාව සැලසේ.වන්දනා ගමන් ආදිය යාමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපනය :- ඉගෙනීම පහල බසී.ධාරණ ශක්තිය අඩුවේ.විභාග වලින් ප්‍රතිඵල අඩුවේ.කරගෙන ආ ඉගෙනීම් කටයුතු වෙනත් අතකට යොමුවේ.

සෞඛ්‍ය :- වර්ෂය මැද භාගය දක්වා සෞඛ්‍ය තත්වය දුර්වල වේ.ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් රෝග සුව අතට හැරේ.දියවැඩියා රෝග ආදී නිදන්ගත රෝගවලින් පෙලෙන අයට තරමක සුවයක් ලැබේ.ශරීර සැපය සඳහා අවශ්‍ය දේ පහසුවෙන් ලබාගත හැකිවේ.එහෙත් ස්නායු අසනීප වලින් පෙලෙන අයට එතරම් යහපත් නොවේ.ලේ සම්බන්ධ රෝග සෑදේ.

ශුභ දවස් :- අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා,සෙනසුරාදා

ශුභ වර්ණ :- රතු,නිල්

ශුභ අංක :- 3,8,9

 මීන

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 12 වැන්නේද, රාහු 3 වැන්නේද, කුජ කේතු සහ සඳු 9 වැන්නේද, රවි සිකුරු 10 වැන්නේද, බුධ ශනි 11 වැන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙනදේ.

ධනය :- වියදම් අධිකවීමත්, මුදල් හානියත් නිතරම ඇතිවේ.දුප්පත්මවීට පවා සිදුවේ.තම ධනය අනුන් විසින් පැහැරගනු ලැබේ.

රැකිරක්ෂා :- රැකිරක්ෂා කටයුතුවල වෙනසක් දකින්නට හැක.වර්ෂය මැද භාගය දක්වා එය එතරම් යහපත් තත්වයකට පත් නොවනු ඇත.

ගෘහ ජීවිතය :- බලාපොරොත්තු රහිත අවුල් වියවුල් මතුවේ.මිත්‍රයන් සමග අමනාපකම් ඇතිවිය හැක.ආරම්භ කරන වැඩක් හෝ අමුතුවෙන් පත්වන තනතුරක් පසුවනවිට තමාට මහත් කරදරයකටද ධන හානියකටද හේතුවේ.හැම අතකින්ම අලාභයට අවාසියට කටයුතු සැලසේ.තද ලෙස රාගාධික කාලයකි.මේ නිසා රහසිගතව නොයෙක් ක්‍රම වලින් කාම තෘෂ්ණාව සංසිඳවා ගැනීමට බලයි.එහෙත් මේ කාලයේ ගෙවල් ඉඩම් වලට වියදම් කරන මුදල් ප්‍රයෝජනවත් විය හැකිය.සිත් තැවුල් ගහනවේ.සෑම පැත්තෙන්ම කරදර හා බාධා ඇති කරයි.වර්ෂය මැද භාගයෙන් පසු විශේෂයෙන් නඩුවලට නොබැසිය යුතුය.සතුරන් ඉදිරියේ පරාජයට පත්වී අලාභ හානි පවා ගෙවන්නට සිදුවේ.අමනුෂ්‍ය බිය ඇතිවිය හැක.එබැවින් නිතරම පාහේ ආගමික වත් පිළිවෙත්වල යෙදීම උචිත වේ.විවාහ වූ අයට නම් තම භාර්යාවට හෝ ස්වාමියාටද අසනීප ආදී තදබල අපල ගෙනදේ.ශරීරය වෙහෙසලන කටයුතුවල නිතර පාහේ නියැලීමට සිදුවේ.

රාහු සහ සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගය දක්වා පූජ්‍ය ස්ථාන වලට වන්දනා ආදී ගමන් යාමට ඉඩ ලැබේ.ශුද්ධ වූ අදහස් ගලා එන කාලයකි.යහපත් කටයුතු වල බැඳෙන්නට ඉඩ ලැබේ.අලුත් හිත මිත්‍රයන්ගේ ආශ්‍රය ඇතිවේ.අලුතෙන් පිරිසක් සමග ආශ්‍රයට ඉඩ ලැබේ.විශේෂයෙන් සමාජ සේවකයන්ද, ගුරුවරුන්ද, පූජකයන්ද තමා ගැන අනුකම්පාවෙන් තමාට උසස් තැනක් තැබීමට උත්සාහ කරනවා ඇත.ඒ සඳහා ආධාර කරන්නටද පුළුවන.අතහැර දමා තිබූ කටයුතුවලින් දියුණුවද තම බලයද වැඩිවේ.

අධ්‍යාපනය :- වර්ෂයේ මැද භාගය දක්වා අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.අලුත් දේ ඉගෙනීමට ලැබේ.එහෙත් වර්ෂයේ මැද භාගයෙන් පසුව ධාරණ ශක්තිය ක්‍රමයෙන් අඩුවී යයි.විභාග වලින් අසමත්මවීක්ද සිදුවිය හැක.ඉගෙනීම වෙනත් අතකට සිදුවේ.

සෞඛ්‍ය :- ශරීර සනීපය දුර්වල කරයි.වර්ෂයේ මැද භාගයට පසු තදබල අංශභාග රෝග, සිහිමද රෝග, හිරිවාත රෝග, අංගවිකලවීමේ රෝග ආදී පවා හැදෙන්නට ඉඩ තිබේ.

ශුභ දවස් :- අඟහරුවාදා,බ්‍රහස්පතින්දා

ශුභ වර්ණ :- රතු,කහ

ශුභ අංක :- 3,9

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කනීෂ එච්. තාරුක
සුසිරි  සෞභාග්‍යා ජ්‍යෙතිෂය
සෙරඩ්වින් ආධ්‍යාත්මික සුව පුහුණු කිරීමේ ඇකඩමිය –  cerridwenhealing@gmail.com

 

 

 

 

Exit mobile version