අලුත්කඩේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවුම 47ක රන් ගුලි දෙකක් ගල් වෙයි…

CID යෙන් කියා පුද්ගලයෙක් රන්ගුලි අරන් ගිහින්... නැතිවී තිබෙන බව දන්නේ හිමිකරුවන් භාණ්ඩ නිදහස් කරගැනීමට පැමිණි පසුයි...

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කර තිබූ පවුම් 47ක රන් තොගයක්, අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු බව කියමින් පැමිණි පුද්ගලයෙකු පසුගිය නොවැම්බර් 23 වැනිදා කොළඹ ප්‍රදේශයේ පොලීසි දෙකකින් ගොනු කෙරුණු නඩු දෙකකට අදාළ නඩු භාණ්ඩ ලෙස පැවති රන්ගුලි දෙකක්, සහතික කිරීම පිණිස රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන බව පවසමින් රැගෙන ගොස් ඇති බව සිදු කෙරුණු මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා බව කියාගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් ලිපියක් ද නඩු භාණ්ඩ කාමරය වෙත ලබා දී ඒවා රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ දෙකක විභාග වන නඩුවලට අදාළ මෙම රන් තොගය නිසි හිමිකරුවන් විසින් ආපසු නිදහස් කර ගැනීමට ඊයේ පැමිණි අවස්ථාවේදී ඒවා මෙලෙස අතුරුදහන් වී ඇතැයි අනාවරණය වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් කොළඹ අධිකරණ මහේස්ත්‍රාත් රෙජිස්ටාර්වරයා විසින් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කරනු ලැබ ඇති අතර ඉදිරි විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version