දිනසේන රතුගමගේ
වවුනියාවේ කනගරායන්කුලමේ පුදූර් ප්‍රදේශයේ තුවාල ලබා සිටි දළ ඇතා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සදහා නැගිට්ටුවීමෙන් පසුව අද (11 ) දහවල් මියගොස් තිබේ.
මාසයකට වඩා වැඩි කාලයක් මෙම දළ ඇතා තුවාල ලබා සිටි අතර වෙනත් ඇතකුගේ ප්‍රහාරයකට හෝ වාහන අනතුරකට ලක් වීම නිසා එම ඇතාගේ උකුල් ඇටය බිදී තිබුණු බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.
දළ ඇතා මඩවගුරක වැටීමෙන් පසුව යුද හමුදාව හා වනජීවී නිලධාරීන් දිවා රෑ නොතකා එම දළ ඇතාට ප්‍රතිකාර කරමින් සිටියදී වනජීවී කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධ නොමැති පිරිසක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් වලටත් වඩා ඉහලින් වවුනියාවේ දළ ඇතා ළඟ ප්‍රතිකාර කරමින් සිටි පිරිසට උපදෙස් දීමට යාමෙන් විශාල අවුලක් හටගත් බව නිලධාරීන් පිරිසක් කියා සිටියහ.
මේ තත්ත්වය නිසා උතුරු පළාත බාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා මෙන්ම උතුරු මැද පළාතේ සිට දළ ඇතාට ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍යවරයාද කොළඹින් පැමිණ සිටි විශේෂ වෛද්‍ය කණ්ඩායමද දැඩි අසීරු තත්ත්වයකට පත් වූ බවද එම නිලධාරීහු කියා සිටියහ.
කෙසේ වෙතත් වවුනියාවේ සිටින වන ජීවී නිලධාරීන්ගේ මතය වී ඇත්තේ මෙම දළ ඇතා තුවාලය නිසා දැඩි අපහසුතාවයකින් හා අසාධ්‍ය තත්ත්වයකින් සිටියදී නිසි ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර නොකිරීම නිසා දළ ඇතා මියගොස් ඇති බවයි.
මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන තුරු මේ මරණය ගැන වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවද වවුනියාවේ වනජීවී නිලධාරීහු පැවසූහ.