අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් 2014 වසරේදී අවිධිමත් ආකාරයට සිය දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසම විශේෂ විමර්ශනයක් සිදුකළ බවත් අදාල දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන්හි කිසිම අනීතික ක්‍රියාවලියක් සිදුවී නැති බව තහවුරු කරන බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ දැක්වෙන්නේ චෝදනාව එල්ලවන්නේ කොමිසන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා බැවින් එම චෝදනාව සම්බන්ධව ප්‍රමුඛතාවය ලබා දී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ බවය.
ඒ අනුව අදාළ විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇතැයි කොමිසම පවසයි.
තවද එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන්ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවද නිරීක්ෂණය වූයේ යැයි අල්ලස් කොමිසම සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බව කොමිෂන් සභාව තීරණය කළ බවද අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.







