ඉන්දීය බුද්ධි තොරක් ඔස්සේ සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊශ්‍රයාල ජාතිකයින් වැඩි වශයෙන් ගැවසෙන, සර්ෆින් ක්‍රීඩාවට උචිත පරිසය හේතුවෙන් ලොව ආකර්ශනීයම සංචාරක කලාපයක් ලෙස ප්‍රකට අරුගම්බේ ප්‍රහාරය සැලසුම් වන්නේ එහි නිදහසේ යන එන ඊශ්‍රයාල ජාතිකයින් ඉලක්ක කරගනිමිනි.
ඉන්දීය බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයේ සේම අරුගම්බේ ප්‍රහාරක සැලසුම සම්බන්ධ සියලුම තොරතුරු නම් ගම් දින වකවානු සමග ලබා දී තිබිණි. එම බුද්ධි තොරතුරට අනුව ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කෙරෙන්නේ ඔක්තොම්බර් 19 සහ 21 අතරය.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් ඉන්දිය බුද්ධි අංශ පැවසුවේය. ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද එම තොරතුරුවල සඳහන් වුණි.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය ප්‍රහාරයකින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර තිබිණි
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තේය.
එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කෙරිනි.
මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අද දැනුම් දුන්නේය.
ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මඟින් ඔවුන්ට දැනුම් දී තිබුණි.
මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ. – දෙරණ







