අර්බුදයෙන් ගොඩ එන මග කරුණු 4කින්… සති දෙකක් තුළ ක්‍රියාත්මක කළ යුතු බව 43 සේනාංකය කියයි!

අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි.

කරුණු පෙළ ගස්වමින් 43 සේනාංකයේ නායක චම්පික රණවක ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවක දී මෙසේ විස්තර කළේය.

  1. පුළුල් සන්ධානයකට, එක වේදිකාවකට එළඹෙමින් දැනට ඉදිරිපත් කර තිබෙන, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රශස්ත මට්ටමෙන්, හැකි ඉක්මනින් සම්මත කරගත යුතුය.

“  “ඒක අපි බලාපොරොත්තු වුණු 19 වෙනි සංශෝධනය නෙවෙයි. ඊට වඩා දියාරු කරපු සංශෝධනයක්.  ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබා දීපු, සංශෝධනයක්. ඒ නිසා එයට වැදගත් වෙනස්කම්  කරලා පාර්ලිමේන්තුව තුළ ඒ අදාළ නීති කටයුතු අවසන් වූ පසු   22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා පාර්ලිමේන්තුවයි ජනාධිපති ධූරයයි අතර තියෙන මේ බල තුලනය ශක්තිමත් කළ යුතුයි.   ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලීසියක්, ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන ප්‍රසම්පාදන්‍ කොමිසමක්, ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත කර මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල හැකි ඉක්මනින් ගැනීම අවශ්‍යයයි.

  1. පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වල නායකයන් එක්ව අවබෝධතා ගිවිසුම් සකස් කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ සභාවක් පිහිටුවිය යුතුය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාම අදාළ අමාත්‍යාංශවලට අනුයුක්ත කොට, ඒ අමාත්‍යාංශවල පාලනය පාලනය පිළිබඳ වගකීම ලබාදී, අමාත්‍යවරයා  ඒ අමාත්‍ය  සංසදයේ සභාපතිවරයෙක් බවට පත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ   224 දෙනාටම වගකීම දීලා විවෘත විනිවිද  ස්වභාවයෙන් ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕනේ.”


“ගෝඨාභය රාජපක්ෂ පාලනය තියෙන තාක්කල් අපට මොනම ආකාරයේවත් විදේශ සහයක් ලැබෙන්නේ නැහැ. අඩු ම තරමින් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන තිස් ලක්ෂයක් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහයවත් මොහුට ලැබෙන්නේ නැහැ. ඒ සහයවත් අපට හරියට ලැබුණා නම් අපට ලොකු විදේශ සහයකින් තොරව මේ අර්බුදය පියමං කර ගන්න තිබුණා.”

  1. වැදගත් ආයතනවලට කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ නායකත්වයන් පත් කළ යුතුය. අන්තර් කාලීන පොදු වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුය.

“තෙල් සංස්ථාවට, ඛනිජ තෙල් පර්යන්තයට, ලංකා විදුලිබල මණ්ඩලයට දේශපාලන පත්වීමක් තියෙන්නේ. වෘත්තීය මට්ටමේ පිරිස් මේ තැන්වලට පත් කරන්න ඕනේ. මුල්‍ය ක්ෂේත්‍රය දේශපාලන පත්වීම් ඉවත් කර වෘත්තීය පිරිස් පත් කරගත  යුතුයි.     එහෙම නොවුණොත් කිසිම විශ්වාසයක්   විදේශිකයෝ තුළවත්, විදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ තුළවත් ඇති වෙන්නේ නැහැ.”

“2015 මහ මැතිවරණයට පෙර දින 100 වැඩපිළිවෙල කියලා එකක් තිබුණා. අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මාස හයකට හෝ මහනායක හිමිවරුන් යෝජනා කරලා තියෙන විදිහට මාස 18 කට හෝ කවර හෝ කලකට පොදු අන්තර් කාලීන වැඩපිළිවෙලකට. අපි සූදානම් ඒ අවම වැඩපිළිවෙල තනන්න. මේ රටේ වෘත්තීයවේදීන්ගෙන්, වැඩකරන ජනතාවගෙන්, ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඒ හැම කෙනාගේම එකඟත්වය, සාමූහිකත්වය, ඒ අවම වැඩපිළිවෙළට ලබාගත යුතුයි. පාර්ලිමේන්තුවෙ මැදිහත්වීම ඇතුළෙ සති දෙකක් වැනි කෙටි කලක් තුළ, ඒ කටයුත්ත සිදුකරගත යුතුයි.”

  1. ගෝඨාභය රාජපක්ෂ  ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත් කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ කරුණු හතර අනිවාර්යයෙන්ම අපි ඉෂ්ට කරගත්තේ නැත්නම්, මේ මහ මගට බැහැලා ඉන්න අපේ ජනතාවට සහනය ලැබෙන්නේ නැහැ. රට තවත් දේශපාලන පිපිරීම්, සමාජ පිපිරීම් ඉදිරියේ මේ රට ඇතැම් විට ලේ ගංගාවක් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ යෝජනාව අපි සියලුම පක්ෂ වලට යෝජනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට මේ ආරාධනය මේ ඊළඟ සතිය ඇතුළත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් 43 සේනාංකය ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

Exit mobile version