අපේ ප්‍රශ්න විසඳගන්න ඕන චීන සමාගම් නොවේ… අපයි… චීනය මේ කරන බලපෑම නැවැත්විය යුතුයි! -අනුර කුමාර දිසානායක…

Anura-Kumara-Dissanayaka

ජනාධිපති හා ඇමතිවරු චීන සමාගමට වගකියනු ලැබුවත් අපේ රටේ ආයතන වගකියන්නේ මේ රටට සහ ජනතාවට බවත්, චීනයේ මේ බලහත්කාර කඩා පැනීමට එරෙහිව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීන්දුව ආපසු හරවන්නට ආණ්ඩුව කිසිසේත්ම උත්සාහ නොකළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

අපේ රටේ ප්‍රශ්න විසඳා ගත යුත්තේ අප විසින් බව කී මන්ත්‍රීවරයා ඊට අනවශ්‍ය චීන මැදිහත්වීමක් සිදුවීම වළක්වා ගැනීම මේ රටේ පාලකයන්ගේ වගකීම බව  වැඩිදුරටත් කීවේය.


ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

“රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පහුගියදා මෙටික් ටොන් 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.

එහෙත්  චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බව ශාඛ නිරෝධායන ආයතන තහවුරු කළා. එබැවින් එම පොහොර ආනයනය නතර කරන්න සිද්ධ වුනා. නමුත් අමාත්‍යවරයා පෙනී සිටියේ තමන්ගේ දැනුම ඥානය භාවිතා කර පරීක්ෂණ සිදුකළ ආයතනය හෝ නිලධාරීන් වෙනුවෙන් නොව චීන සමාගම වෙනුවෙන්.

මේ සාම්පල පරීක්ෂාවටත් පෙර නැව චීනයෙන් පිටත් වුනා. ඉන්පසුව නැව ආපසු හැරවූ බව කීවා.

නමුත් ඔක්තෝබර් 22 එනම් ඊයේ  කින්ඩාවෝ සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට ඇතුළු කණ්ඩායමකට ලිපියක් යොමුකර කියනවා කොළඹ වරායට 22වෙනිදා වනවිට නැව ළඟාවෙනවා කියලා.

මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය. චීන සමාගමට එය තීරණය කරන්න බැහැ.

ඒ වගේම මේ කාබනික පොහොර පරීක්ෂාව ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරිදි සිදුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ අපේ රටට මිස චීන සමාගමට නෙවෙයි.

ඇමතිවරු ජනාධිපති චීන සමාගමට වගකියනවා. තුන්වෙනි පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ යුතුයි කියලා එකඟතාවයට ආ බව කියනවා. එවැනි එකඟතාවයකට ආවේ කවුරු සමඟද කියලා කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට කියන්න ඕනෑ.

ඒ වගේම එම සමාගම එවන ලද ලිපියේ මහ කන්නය සඳහා පොහොර හිඟයක් ඇති නිසා මෙම පොහොර තොගය බාරගන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න රටේ පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන සමාගම ඒ ප්‍රශ්න විසඳන්න මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ රටේ නීති නොසලකා චීන නෞකාය කොළඹ වරායට ඇතුළුවීමට දරණ උත්සාහය වහා නතර කළ යුතුයි.

මෙම නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව.

ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා. මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුළුවීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.

 

Exit mobile version