අද නව පාර්ලිමේන්ත සැසි වාරය ඇරඹෙන හැටි…

parliament of sri lanka

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද (8) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට මේ වනවිට කටයුතු සූදානම්ය.

සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිව්වැනි සැසිවාරය නිල චාම් උත්සවයක් ලෙස සැලසුම් කර ඇත. ඒ අනුව සැසිවාරය ආරම්භයේ දී සිදු කරන ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලිය නොපැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම මැතිණිය ද පැමිණීමට නියමිතය.

එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගනු ඇත.


ඉන් අනතුරුව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ඇත.

එම අවස්ථාවේදී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද කරනු ලැබේ.

ජනාධිපතිවරයා දළ වශයෙන් පෙරවරු 9.55 පමණ වනතුරු එහි රැඳී සිටින අතර සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය තුළට කැඳවාගෙන යනු ඇත.

සභා ගර්භයට ඇතුළු වූ පසු නියෝජ්‍ය වේත්‍රධාරීවරයා “ගරු ජනාධිපති” යනුවෙන් ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රකාශ කළ යුතු අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්ප්‍රදායට අනුකූලව සිටගෙන ආචාර කළ යුතුය.
සභා ගර්භයට ඇතුළු වන ජනාධිපතිවරයා සභාවේ මුලසුන හොබවන අතර මේ අවස්ථාවේදී කථානායකවරයා කාරක සභා අවස්ථාවේදී මෙන් පහළ අසුනේ අසුන් ගනී.

ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාව 2023.02.09 වැනි දින පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබේ.

කල් තැබීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා විදේශීය තානාපතිවරුන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට ආරාධනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය, නියෝජනය කරන පක්ෂ සහ සන්ධාන මේ අවස්ථාව වර්ජනය කර තිබේ.

Exit mobile version