ඉඳුනිල් කහටපිටිය –
සියලුම ලෝක සම්මතයන් බිඳී යමින් ඇත. ලෝකයේ ආයාචනයන්, ඉල්ලීම්, තරවටු කිරිම් ඇතුළු ශිෂ්ට සම්පන්න සමාජයක කළ හැකි ඉහළම බලපෑම එල්ලවී තිබුණ ද ඊශ්‍රයාලය සිය සමූහ ඝාතන ක්‍රියාදාමය නවත්වා නැත.
යළිත් අද (27) මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් බාලාහි පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය දියත් කර තිබුණේ එම පරිශ්‍රය තුළ ඇති හමාස් අණදෙන සහ පාලන මධ්‍යස්ථානයක් විනාශ කිරීම සඳහා බව ඊශ්‍රයාලය ගැති බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පාසල භාවිතා වී තිබුණේ අවතැන් කඳවුරක් ලෙසය 4000කට වැඩි අවතැන් වූවන් පිරිසක් පාසලේ නවාතැන් ගෙන සිටි බව පලස්තීන සිවිල් ආරක්ෂක අංශය පැහැදිලි කළේය. ප්‍රහාරයෙන් පසු එම කඳවුරු පාසලේ සිට අල්-අක්සා රෝහලට පැමිණි බොහෝ වින්දිතයින් කාන්තාවන් සහ ළමුන් බව රෝහලේ ප්‍රකාශක වෛද්‍ය කලීල් අල්-දක්රාන් ප්‍රකාශ කර තිබිණි.

ඊශ්‍රයාලය මේ සතිය ආරම්භ කළේ ඛාන් යූනිස්හි නව මෙහෙයුමක් දියත් කළ බව කියමින් ඊශ්‍රායාලය සිවිල් වැසියන් විෂයෙහි දියත් කළ නින්දිත ප්‍රහාරයක් දියත් කර පලස්තීනුවන් දුසිම් ගනනක් මරා දමමිනි. ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස්හි සිවිල් වැසියන් තවත් දකුණට විතැන් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් ඉක්බිතිව අවතැන් කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කිරීම ලෝකය සාධාරණීකරණය කරනු ඇත්තේ කෙසේ දැයි නොදනිමු.
ගාසා තීරයේ පවතින්නේ දීර්ඝ සටනකි. එය මාස ගණනක් කරන කෲර මෙන්ම අශිෂ්ඨ සංහාරයකි. ඔවුන් පවසන ආකාරයට ඔවුන් දියත් කර ඇත්තේ හමාස් තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ මෙහෙයුමකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කළේ පසුගිය සඳුදා පමණක් ඛාන් යුනිස් වෙතින් පලා ගිය සිවිල් වැසියන් ගණන 150,000 ක් පමණ වන බවය. මේ වනවිට ඒ අවතැන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් නැත. ආහාර සහ ජලය ඇත්තේ අතිශය සීමිත සැපයුම්ය. නවාතැන් ගැනීමට ඇති ස්ථාන අල්පය.
මේ වනවිට ඊශ්‍රයාල හමුදාව තවත් නිවේදනයක් නිකුත් කරමින් ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කිරීමට ආසන්න බැවින් ඛාන් යුනිස්හි දකුණු ප්‍රදේශවල ජනතාවට වහාම අල් – මාවාසි ප්‍රදේශයට ඉවත්වන ලෙස දන්වා තිබේ. එහෙත් ඔවුන් ජනතාවට විතැන්වීමට යැයි දැනුම් දෙන අල්මාවාසි යනු නැවත නැවතත් ඊශ්‍රයාල ප්‍රහාරවලට ලක් වූ භූමියක් බවත්, ජූලි 14 වැනිදා එල්ල කළ ප්රහාරද ඇතුළුව මෙම භූමියේ දී පුද්ගලයින් 90ක් මරා දමා 300 දෙනෙකුට තුවාල සිදුකිරීමට ඊශ්‍රයාලය කටයුතු කළ බවත් පලස්තීන වාර්තා පෙන්වා දී තිබේ.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 39,090 ක් මිය ගොස් තවත් 90,147 ක් තුවාල ලබා ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, ජූලි මස මුල වන විට, ගාසා තීරයේ මිලියන 2 කට ආසන්න ජනතාවක්, එනම් ගාසාහි සමස්ථ ජනගහණයම පාහේ අවතැන් වී සිටියහ.
ගාසා තීරයේ සේවය කරන ආධාර ආයතන මීට පෙර අවධාරණය කර පෙන්වා දුන්නේ මෙවැනි ඉවත් කිරීමේ නියෝග හදිසි සලාක බෙදා හැරීම වඩාත් දුෂ්කර කර ඇති බවය.
“ගාසා තීරයේ ජනතාව වෙහෙසට පත්ව සිටිති, අමානුෂික තත්වයන් තුළ ජීවත් වෙති, කිසිදු ආරක්ෂාවක් නොමැතිව,” එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය සඳුදා X හි පළ කළේය.
ඊශ්‍රයාල හමුදාවට අනුව “මානුෂීය ප්‍රදේශයක්” ලෙස නම් කර තිබූ ඛාන් යුනිස්හි ප්‍රදේශයක උමං මාර්ගයකින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකුගේ සිරුරු බදාදා සවස සොයාගෙන තිබේ.
ලෝකය සටන් සහමුලින්ම නැවැත්විය නොහැකිනම් සටන් විරාමයක් හෝ අපේක්ෂා කරයි. සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් ගිවිසුමකට එළැඹීමේ හැකියාව පිළිබඳව එක්සත් ජනපද සහ ඊශ්‍රායල නිලධාරීන් මේ සතියේ සුභවාදී අදහස් පළ කළ ඇතැයි බටහිර මාධ්‍ය පවසයි.
ලෝකයේ ශික්ෂිත මිනිස්සු මේ මොහොත අපේක්ෂා කරති. ඒ එක් දවසක් හෝ සුරක්ෂිතව ජීවත් වීම සඳහා ගසාහි අසරණයින්ට සහතිකයක් දීම වෙනුවෙනි.







