කපිල කේ. හීනටියන –
ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා සහ ඔහුගේ දේශපාලන උරුමක්කාරයා ලෙස සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ (03) බටහිර ලිබියානු නගරයක් වන සින්තාන්හිදී ඝාතනයට කරනු ලැබුවේය.
ඔහුගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කළ සිව්දෙනෙකුගෙන් යුත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර තිබිණි. ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය කරමින් නිවසට ඇතුළු වූ ඝාතකයෝ ඔහුගේ උද්‍යානයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණහ.
දැනට අනාවරණය වන තොරතුරු මත පැහැදිලි වන්නේ මෙම ඝාතනය වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහිත තාක්ෂණය සහ දියුණු සැලසුම් අනුව සැකසුන මෙහෙයුමක් බවය. ලිබියානු මාධ්‍ය සහ ඔහුගේ නීතිඥවරුන් විසින් ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනය සිදුකළේ කමාන්ඩෝ කණ්ඩායමක් බවය. මෙම මෙහෙයුමට ගතවී තිබී ඇත්තේ විනාඩි කීපයක් පමණි. සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකි වේගයෙන් අපරාධය සිදුවී තිබෙන බව දැන් අනාවරණය වී ඇත. සයිෆ් අල්-ඉස්ලාම්ගේ ඝාතනය සැලසුම්කළ ත්‍රාස ජනක මෙහෙයුමක් බව ප්‍රකාශ වී තිබේ.
මෙම සිදුවීම ලිබියාවේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සහ බෙදීම්වල තීව්‍රතාවය පෙන්වන සංකේතයක් ලෙස සැලකේ. ඔහුගේ ඝාතනය සමග ලිබියාවේ අනාගත දේශපාලන තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර, එය ජාත්‍යන්තර මට්ටමේදීද අවධානයට ලක් වී තිබේ.
සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි කවුද?
සයිෆ් අල්-ඉස්ලාම් මුවම්මර් ගඩාෆි උපත ලබන්නේ 1972 ජූනි 25 දා ය. ඔහු ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා විය. ඔහුගේ පියාගේ පාලන සමයේදී (1969-2011) ඔහු ලිබියාවේ දේශපාලනයේ සහ ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් ඔහු, ජාත්‍යන්තර මට්ටමේදී ලිබියාවේ නියෝජිතයකු ලෙස කටයුතු කළේය. යුරෝපීය රටවල් සමග සබඳතා ගොඩනැගීමට සහ ලිබියාවේ ආයෝජන ආකර්ෂණය කිරීමට උත්සාහ කළ විද්වත් වෘත්තිකයෙක් ලෙස කලෙක ඔහුගේ භූමිකාව වර්ණනය විය.
2011 දි අරාබි වසන්තයේ කොටසක් ලෙස පැන නැගෙන ලිබියානු අරාබි මුවම්මර් ගඩාෆි කෲර ලෙස ඝාතනය විය. ඒ කැරළි සමයේ තම පියාගේ ආධාරකරුවකු ලෙස ක්‍රියාකාරී වූ සයිෆ්, එම කැරැල්ලේදී අත්අඩංගුවට පත් විය. ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) චෝදනා එල්ල වූ අතර, ඔහු සින්තාන්හි මිලීෂියාවක බාරයේ සිටියදී 2015දී මරණ දඬුවම් නියම විය. ලිබියාවේ “මිලීෂියාව” යන වචනය භාවිතා වෙන්නේ බොහෝ විට ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන් පසු බිහිවුණු සන්නද්ධ කණ්ඩායම් වලට ය.
කෙසේ නමුත් සයිෆ් අල්-ඉස්ලාම් මුවම්මර් ගඩාෆි 2017දී සමාව දීමකින් නිදහස් වූයේය. අනතුරුව ඔහු ලිබියාවේ දේශපාලනයට නැවත එක්වීමට උත්සාහ කළේය. ඒ 2021 දෙසැම්බර් 21 වැනිදාට සැලසුම් කර තිබූ මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට කටයුතු කිරීමෙනි. එහෙත් ඔහුගේ අපේක්ෂකත්වය 2021 නොවැම්බර් 24දා මැතිවරණ කොමිසම විසින් තහනම් කරනු ලැබුවේය. මන්ද ඔහුට යුද අපරාධ චෝදනා තිබුණු බැවිනි. නමුත් ඔහුගේ අභියාචනයෙන් පසුව 2021 දෙසැම්බර් 2දා යළිත් ඔහු අපේක්ෂකයෙක් ලෙස පිළිගනු ලැබුවේය.
එහෙත් ලිබියාවේ 2021දී සැලසුම් කළ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුයේ නැත. දේශපාලන ගැටුම්, මැතිවරණ නීති ගැන එකඟතා නොමැතිකම, අපේක්ෂකයන්ගේ තහනම්වීම් සහ ආරක්ෂාවේ ගැටලු නිසා සමස්ත මැතිවරණයම දින නියමකින් තොරව කල් දැමුණේය. මැතිවරණය කල් දැමීම ගැන ලිබියානු පාර්ලිමේන්තු කමිටුව 2021 දෙසැම්බර් 22දා නිල වශයෙන් තහවුරු කරනු ලැබූ වේය.
ඇත්ත වශයෙන්ම මේ මැතිවරණ දින නියමකින් තොරව කල් යෑමට අතිශයින්ම බලපෑ ප්‍රධානම හේතුවක් වූයේ ෆයිස් අල් ඉස්ලාමිගේ ජනප්‍රියත්වයත් ඔහු බලයට පැමිණ නැවත ගඩාෆි යුගයක් නිර්මාණය වනු ඇති බවට වූ පුරෝකථනයත්ය. මේ සැකය නිසා බොහෝ මිලීෂියාවන්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සහ දේශපාලන බලවේග මැතිවරණයම ප්‍රතික්ෂේප කරන මට්ටම් තල්ලු කර එය දින නියමක් නොමැති තැනකට ඇද දැමුවේය. ෆයිස් – අල් – ඉස්ලාමී ඝාතනය වන්නේ එවැනි පසුබිමකය.
ඔහු දේශපාලනික වශයෙන් වැදගත් වූයේ කෙසේද?
සයිෆ් අල්-ඉස්ලාම් ලිබියාවේ දේශපාලනයේ වැදගත්කම ඔහුගේ පියාගේ උරුමය සහ ඔහුගේ දේශපාලන බලාපොරොත්තුවලින් ආවරණය විය. ගඩාෆිගේ පාලන සමයේදී ලිබියාව ණය රහිත, බදු රහිත සමෘද්ධිමත් රාජ්‍යයක් වූ අතර, තෙල් සහ ගෑස් සම්පත් අතිශය ක්‍රමවත් ලෙස කළමනාකරණය කරමින් පොහොසත් දේශයක් නිර්මාණය කරනු ලැබුවේය. සයිෆ් එම යුගයේ සංකේතයක් ලෙස සැලකිණි. ඔහුගේ දේශපාලන බලපෑම ලිබියාවේ බෙදීම් අතර සමහර ගෝත්‍රික සහ කලාපීය කණ්ඩායම්වල ජනප්‍රියත්වයෙන් ආවරණය විය. විචාරකයින්ට අනුව, ඔහු ලිබියාවේ කවදා හෝ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කිරීමේ ඉහළ විභවයක් තිබූ අපේක්ෂකයකු විය.
ඔහුගේ දේශපාලන වැදගත්කම වැඩි කළේ කැඩී බිඳී විසිරුණ ලිබියාව එකමුතු කිරීමේ බලාපොරොත්තුක් ඔහු තුළ පැවතීම නිසාය. 2017 නිදහස් වීමෙන් පසු ඔහු සින්තාන්හි රැඳී සිටිමින් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර, ලිබියාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල ඔහුට සහයෝගය තිබුණි. ඔහුගේ මරණය සමග ගඩාෆි උරුමයේ අවසන් සංකේතයක් නැති වී ගියේය. එය ලිබියාවේ දේශපාලන බෙදීම් තවදුරටත් තීව්‍ර කළ සාධකයක් වනු ඇති බව මේ වනවිටත් පෙනෙමින් තිබේ.
ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ඇයි?
මෙම ඝාතනයේ සත්‍ය හේතු තවමත් නොපැහැදිලි ය. නමුත් ඔහුගේ දේශපාලන බලපෑම සහ ජනප්‍රියත්වය නිසා එය දේශපාලනිකව ප්‍රේරණය වූ එකක් ලෙස සැලකෙයි. ඔහුගේ ඥාති සහෝදරයකු වන අහමඩ් ගඩාෆි පවසන්නේ ඔහු ලිබියාවේ ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කිරීමේ විභවයක් පැවති බැවින් මෙය “බටහිර රටවල නියෝජිතයන්” විසින් සිදු කළ බවකි. එය යම් සාධනීය තර්කයක් සහිත ප්‍රකාශයක් බව පෙනෙන්නේ ලිබියාවේ දැනට පවතින බෙදීම් අතර ගඩාෆි උරුමය නැවත බලයට පත්වීම බටහිර රටවල් සහ ලිබියානු ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල අපේක්ෂාව නොවන බවය. ඔහුගේ මරණය සමග ලිබියාවේ ජනාධිපතිවරණයකදී ඔහුගේ බලපෑම නැති වීම ඔහුගේ දේශපාලන ප්‍රතිවිරුද්ධකයන්ට වාසිදායක විය හැකිය.
කෙසේ වෙතත්, ලිබියානු අගමැතිවරයාගේ කාර්යාලය සහ ජාත්‍යන්තර මට්ටමේදී මෙම ඝාතනය පිටුදකින බව පෙනේ. සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ලිබියාවේ වර්තමාන සමාජ-දේශපාලන තත්ත්වය
ලිබියාව 2011 ගඩාෆිගේ වැටීමෙන් පසුව තවමත් දේශපාලනිකව බෙදී ඇති රටකි. රටේ බටහිර කොටසේ ට්‍රිපොලි පදනම් කරගත් ජාතික එකමුතු ආණ්ඩුව (GNU) සහ නැගෙනහිර කොටසේ ඛලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාව (LNA) සහ ජාතික ස්ථාවරත්ව ආණ්ඩුව (GNS) අතර බෙදීම් පවතී. 2021දී සැලසුම් කළ ජාතික මැතිවරණ අවලංගු වී ඇති අතර, රටේ දේශපාලන බෙදීම් සහ විශ්වාසයේ ඌනතාවය නිසා තවමත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වී ඇත.
සමාජීය වශයෙන් රටේ මානුෂීය අර්බුදයක් පවතී. 147,000කට ආසන්න පිරිසක් අභ්‍යන්තරිකව අවතැන් වී සිටි. ආපදා සහ ගැටුම් නිසා ඔවුන්ගේ ජීවිත අවදානම් වී ඇත. ආර්ථිකය තෙල් මත රඳා පවතින අතර, දූෂණය, මිලීෂියාවන්ගේ පාලනය සහ රුසියාව, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව වැනි රටවල් ජාත්‍යාන්තරව කරන බලපෑම ද මේ අස්ථාවරත්වයට එක් හේතුවකි. මානව හිමිකම් උල්ලංඝනයන් බහුල ය. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, මරණ දඬුවම් සහ සංක්‍රමණිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය රට තුළ පවතී. මේ බිඳ වැටුන ලිබියාවේ සංකේතාත්මක අපේක්ෂාව වූයේ සයිෆ් අල්-ඉස්ලාමිය. මේ ව්‍යසනයට ලක් වන්නේ ඒ සිරිමත් ලිබියාවක් පිලිබඳ අභිලාෂකාමී ලිබියානු ජන කොටස දුටු සිහිනය ය.
සයිෆ් අල්-ඉස්ලාම්ගේ ඝාතනය ලිබියාවේ දීර්ඝකාලීන අර්බුදයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නේය. ඔහුගේ මරණය සමග ගඩාෆි යුගයේ අවසන් සංකේතයක් නැති වී තිබේ. අපේක්ෂා රහිත සමාජයක සමාජ-දේශපාලන බෙදීම් තවදුරටත් තීව්‍ර වන ලකුණු පෙනේ. ජාතික මැතිවරණ සහ සංහිඳියාව සඳහා දැන් ජාත්‍යාන්තර මැදිහත් විමක අවශ්‍ය බව විචාරක මතයයි. ලිබියාවේ අනාගතය රඳා ඇත්තේ බෙදීම් අවසන් කිරීමේ සහ සමෘද්ධිය නැවත ගොඩනැගීමේ බලාපොරොත්තුව මත බැවිනි.







