පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. .
මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ ය ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි විට මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සඳහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සදහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවය. ඒ පිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.
ඒ අනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දී ඇත.







