ඩයනා උදයංගනී –
සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝබර් 31 වැනිදා මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර එදින සිට සෑම සිකුරාදා දිනකම නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන්ට පා පැදියෙන් රාජකාරියට වාර්තා කිරීමට පහසුකම් සලසන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පැවසීය.
”සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු’ තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේදී ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතය.
පා පැදියෙන් සේවයට එන පිරිස් දිරිගැන්වීම සඳහා පා පැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පා පැදි සංසදයේ සාමාජිකත්වය ලබාදීම, පා පැදි නතර කිරීමට අමාත්‍යාංශයේ වෙනම ස්ථානයක් වෙන්කිරීම හා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම මෙන්ම එම දිනයේදී සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම ද සිදුකෙරෙන බව ප්‍රසාද් රණවීර කීවේය.
පරිසරය ආරක්ෂා කිරීම, නිරෝගී පුරවැසියන් පිරිසක් බිහිකිරීම හා මාර්ග තදබදය අවම කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත.
පා පැදියෙන් පැමිණෙන පිරිස් වෙනුවෙන් බස් නැවතුම්පල, දුම්රියපල ආදී ස්ථානවල පා පැදි නැවැත්වීමේ පහසුකම් ඇතිකිරීම, පා පැදි සඳහා වෙනම මංතීරු ඇතිකිරීම ආදී කටයුතු ද ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.
ලංකාදීප –







