අරගල සිදුවූ දිනවල නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසම ඇතළු ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු කළ සභාපතිවරුන් සූක්ෂම ලෙස ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ වෙනුවෙන් පොහොට්ටුවේ ඇමති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත්වන බවත් එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කර ගෙන දරදඬු ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා අද (22) මේ බව පැවසුව් සමගි ජන බලවේගයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර හැකි නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් ඔහු පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් 22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයෙන් බවත් එසේ හොඳ දෙයක් තිබිය දී 22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
22 වැනි සංශෝධනයට අත ඉස්සුවේ යහපත් පාලනයක් වෙනුවෙන් මිස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිනී මාරසිංහ හෝ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ගෙදර යැවීමට නොවන බව කී විපක්ෂවරයා, එවැනි අනීතික කටයුතු සඳහා ඉඩ නොදෙන බවත් එවැනි දෙයක් කිරීමට උත්සාහ කළොත් ඕනෑම අවස්ථාවක ජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පැවසීය.
එසේ ම රාජපක්ෂලාට වහල් වී ගත කළ ජීවිතයෙන් මිදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ස්වාධීන මිනිසකු සේ මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය මග හෙළි පෙහෙළි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ජනතාවගේ වගකීම යැයි කීවේය.







