ජයකාන්ත ලියනගේ –
අහුන්ගල්ල රියූ හෝටලය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2022 නොවැම්බර් මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්රාත් හංසදේව සමරදිවාකර අද (20) සවස නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ශ්රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ කිළිනොච්චිය කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන් ගුණනෙත්තිගේ සුසන්ත කුමාර (41) සහ රණසිංහ ආරච්චිලාගේ සම්පත් ප්රියන්ත (42) නැමැති දෙදෙනාය. පළමු සැකකරු මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර ප්රදේශයේ හා දෙවන සැකකරු හල්තැටිවෙල, මීගහතැන්න ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විමර්ශන අංශ කියයි.
පළමු සැකකරු තමන්ට අයත් රාජකාරි ගිනි අවිය වන අංක 2612651 දරණ ටී -56 ගිනි අවිය මෙම වෙඩි තැබීම සදහා ලබා දී තිබෙන බවත් දෙවන සැකකරු වෙඩි තැබීම සදහා දුරකතන ඇමතුම් ලබා දෙමින් අධාර හා අනුබල ලබා දී තිබෙන බවත් පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.
පළමු සැකකරු සිය කිලිනොච්චිය යුද්ධ හමුදා කදවුරේ රාජකාරි වල නිරතව සිටියදී හා දෙවන සැකකරු මීගහතැන්න ප්රදේශයේ සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලීසියට බාර දුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද ප්රධානතම සැකකරුවා බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්රභාත් (36) නැමැති අය බළපිටිය, බණ්ඩරවත්තේදී පසුගිය 13 රාත්රී පොලිස් විශේෂ කාර්යය බලකායේ විසින් තබල ලද වෙඩි තැබීමකදි මියගොස් තිබේ.
නමුත් මොහු සිද්ධියේ ප්රධානතම සැකකරුවා නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බවත් මොහු වෙඩි තැබීම සදහා මෝටර් රථය පැදවූ අය බවට තහවුරු වී තිබෙන බවත් අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිස් වෙඩි පහරින් මියගිය සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත් කිරීමේදී පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත් සැකකරු සන්තකයේ තිබූ ජීව අත් බෝම්බයද පොලීසියේ බාරයට ගෙන තිබෙන බවත් පොලීසිය මීට පෙර සඳහන් කළේය.
වෙඩි තැබීමේ සිද්ධියේ නියම වෙඩික්කරු හෝකන්දර, සිංහපුර ප්රදේශයේදී බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය කියයි.
මොහු දන්කුඩ්ඩා නමින් හඳුන්වන ශ්රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ලාන්ස් කෝප්රල් වරයෙකු බවද පොලිසිය කියයි. මොහු 2019 දි තලංගම පොලිස් වසමේ හෝකන්දර පදිංචි 74 හැවිරිදි කාන්තාවක් ගෙල සිරකර මරා දැමීමේ සිද්ධියේ ප්රධානතම සැකකරුවා බවටද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නංගර, පොලිස් කොස්තාපල් සදමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.







