මැයි 09 දා විනාශ වූ මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවට සුපිරි නිවාස හදා දීමට වැඩපිළිවෙළක් දියත්වී ඇතැයි ද අවශ්‍ය වන්නේ එම මන්ත්‍රී නිවාස පන්තිය ඉදිවනතුරු ඉවසීමෙන් සිටීම යැයිද ජනාධිපතිවරයා වින්දිත මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
මේ බව දැනුම්වත් කර ඇත්තේ මැයි 09 දා නිවාස ගිනි තබා විනාශ කළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය 12 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
මේ අවස්ථාවට මන්ත්‍රිවරුන් 75 ක් පමණ සංඛ්‍යාවක් සහභාගී වී ඇත.
මෙම හමුවේ දී අදාල මන්ත්‍රීවරුන් දැඩි ලෙස කියා ඇත්තේ අද හෝ හෙට නිවාස ලබා දෙන බවට කල් නොමරා වහාම මේ ප්‍රශ්නයට මැදිහත්වන ලෙසත් ඉන්න තැනක් නොමැතිව, දරුවන්ට පාසලක් නොමැතිව තමන් කල්ලතෝනින් වී ඇති බවත්ය.
එහිදී ජනාධිපතිවරයා දන්වා ඇත්තේ මේ සම්බන්ධව දැනටමත් සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බැවින් ඉවසා සිටින ලෙසය.
එම අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන සහභාගී වී ඇත. ඔහු පවසා ඇත්තේ නිවාස විවිධ හේතු නිසා විනාශ වන බවය. උදාහරණයක් ලෙස මුහුද ආශ්‍රිත නිවාස විටින් විට විනාශ වී ගිය විට ඔවුන්ට වඩා හොඳ නිවාස ලබා දීමට රජය කටයුතු කර ඇති බවය.
මේ තත්ත්වය තුළ මන්ත්‍රී නිවාස අවාට ගියාට හදා දෙන්නට රජය සූදානම් නැති බවත් නියමිත වැඩපිළිවෙළක් යටතේ සුපිරි නිවාසයක් වින්දිත සෑම මන්ත්‍රීවරයෙක් වෙතම ලබා දෙන බවත් අවශ්‍ය වන්නෙ එතෙක් ඉවසා සිටීම පමණක් බවත් සහතික වී ඇත.
එම අවස්ථාවේ දි මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා වජිර අබේවර්ධන පත්කරන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.







