සූරියවැව නුවන් ජයසේකර –
රුපියල් කෝටි 13ක හෙරොයින් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන්ගේ අත්අඩංගුව පත් වී තිබේ..
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්තොට නගරයේදි සිදුකළ රුපියල් කෝටි 13ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 210ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ ( 06 ) දින සිදුකල වැටලිමකදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමග අම්බලන්තොට සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමකදී ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
අත්අඩංගුවට ගත් තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ සිය මාමා කෙනෙකු නිවසක් කුළියට ගෙන හෙරොයින් ජාවාරමක් සිදුකරන බවත්, තමන්ද එහි සිට මාස කිහිපයක සිට හෙරොයින් පැකට් කිරීම සිදුකරන බවත්ය.
අත්අඩංගුවට පත් සැකකරුගෙන ලද තොරතුරුවලට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් සැකකරුගේ මගපෙන්වීම යටතේ කැස්බෑවේ පිහිටි කුළී නිවස වැටලීමට කටයුතු කර තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් පළාගොස් තිබේ. පළා ගිය සැකකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම් කරු හා ඔහුගේ සහායට එහි නැවතී සිටි බව කියන පනාමුර පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.
එහිදී කැස්බෑවේ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 170ක ප්‍රමාණයක්,මිලි මිටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 19ක්, හෙරොයින් මත් කුඩු පැකට් කිරීමට රැගෙනවිත් තිබුණු අඟලයි අඟල ප්‍රමාණයේ කොල කිලෝ 15ක්, කුඩා ප්‍රමාණයේ පොලිතින් කවර 100ක්, ව්‍යාජ අංක තහඩු දෙකක්, ජාවාරම් කරුවන්ගේ තොරතුරු ඇතුළත් පොත් දෙකක්, ප්‍රධාන ජාවාරම් කරුගේ විදෙස් ගමන් බලපත්‍රය, ,පොලිතින් සීලරයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්තොට නගරයේදි අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලිසියට බාර දි ඇති අතර, කැස්බෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් හොරොයින් ඇතුළු උපකරණ වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිසියට බාර දී තිබේ. පළාගිය සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් (40453)හෙට්ටිආරච්චි,පොලිස් කොස්තාපල් වරුන් වන (71452)ඉන්දික, (72939)සංජය ,(84229)සමන් හා (80445) ප්‍රියංග ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.







