-
ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කරලා… සල්ලි දුන්නෙ නැතිනම් සුනාමියක් වගේ ජන ගඟක් ගෙන්වා යලිත් රටින් පළවා හරින බව කියලා…
-
අවස්ථා ගණනක දී දිගින් දිගටම තර්ජනය කරන්න පටන් ගත් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා… සැකකරු දැන් පොලිස් අත්අඩංගුවේ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය වූ අයෝමා රාජපක්ෂගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කළ බව කියන සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ සැලොන් එකක සේවය කරන ද්‍රවිඩ ජාතික තරුණයෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
හිටපු ජනාධිපති අයෝමා රාජපක්ෂගේ පුද්ගලික දුරකථනයට කතා කළ පුද්ගලයෙක් ඇයගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා තිබේ. එම ඇමතුම දිගින් දිගටම පැමිණෙන විට අයෝමා රාජපක්ෂ මෙම පුද්ගලයාට පවසා ඇත්තේ තමන් හිටපු ජනාධිපතිවරයාගේ බිරිය බවත් මේ ඇමතුම නවත්වන ලෙසත්ය.
එහෙත් එම අවස්ථාවේ දී ඇමතුම්කරු පවසා ඇත්තේ තමන් කථා කරන්නේ කාටද යන්න පිළිබඳව තමන් දන්නා බවය. එබැවින් තවත් ප්‍රමාද නොකර ලක්ෂ දහයක මුදල ලබා දෙන ලෙස ඔහු දන්වා ඇත. එසේ නොවන්නේ නම් මුල්වතාවේ මෙන් නොව, සුනාමියක් සේ සෙනග ගෙන්වා නිවස වට කර ඔවුන් පළවා හැරීමට කටයුතු කරන බවය.
මේ පුද්ගලයාගේ ඇමතුම් තර්ජනාත්මකව කිහිපවරක්ම ලැබුණු පසු රාජපක්ෂ මහත්මිය ඒ සම්බන්ධව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට දන්වා ඇත.
ඉන් අනතුරුව සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට වින්දිත පාර්ශවය කටයුතු කර තිබේ. එම පැමිණිල්ලට අනුව විමර්ශන මෙහෙයවූ පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයාට අයෝමා රාජපක්ෂගේ පුද්ගලික දුරකථන අංකය ලැබුණු ආකාරය ගන මේ වනවිට විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.







