බ්‍රිතාන්‍ය මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දූත පිරිසට අයත් වූයේ ජනාධිපතිවරයාත්, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේත් ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයාත් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම ගමනට සහභාගී වූයේ පුද්ගලික වියදමින් බව ද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එක්වන්නේ එංගලන්තයේ ඔහු යෙදුන පුද්ගලික චාරිකාවක් අතරදී බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ පිළිබඳ ජනාධිපති මාධය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව පළවන සාවද්‍ය තොරතුරු පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි.
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වෙයි.
මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු පමණි. ඊට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා මීට සහභාගී විය.
ජනාධිපතිතුමාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුරය.
මෙම අවස්ථාවට වෙනත් විදෙස් රටවල් නියෝජනය කරමින් පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිඳ ඇගතා කෝන්හවුසර්-ඩූඩා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ-ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා , ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදී, චීන උප ජනාධිපති වං කිෂාන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්, එක්සත් රාජධානියේ වත්මන් අගමැති ලීස් ට්‍රස්, මෙන්ම කැනඩාවේ ජස්ටින් ටෘඩෝ, ඕස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස්, සහ නවසීලන්තයේ ජකින්ඩා ආඩර්න්, ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් සිය බිරිඳ බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගිවී සිටියහ.







