මනම්පිටිය නිමල් ජයරත්න –
-
ගබඩා හැදුවේ ලක්ෂ 100ක් වියදම් කරලා…. එක ගබඩාවක් 2015 යල කන්නයේ වී පුරවලා… අනෙක් ගබඩාවෙ මේ වනතුරු වී ගබඩා කර නෑ… ගබඩා දෙකම දිරාපත් වෙලා… වී තොග විනාසයි…
වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ හා ගොවි සංවිධාන නියෝජිතවරු පවසති.

රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදි කරන ලද අරලගංවිල වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙකෙන් එකකට වී අලෙවි මණ්ඩලයෙන් වී ලබාගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, මීට වසර තුනකට ඉහතදී ඉදිකරන ලද අනිත් ගබඩාව මෙතෙක් විවෘත කර නොමැති අතර එහි මෙතෙක් වී ගබඩා කර නොමැති බවත් ගොවීහු චෝදනා කරති.
එම ගබඩා සංකීර්ණයේ වහලයේ ආවරණ කැඩී ඇති ස්ථාන වලින් වර්ෂා කාලවලදී ගබඩාව ඇතුළට වැටුණු ජලයට වී කිලෝ ලක්ෂ ගානක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව, දිරාපත් වී විනාශ වී ඇති බවත්, ඒවා 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බවත් මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ සඳහන් කළේය.

එක් ගබඩාවකට වන අලින් විසින් හානිකර ඇති අතර, සොරසතුරන් විසින් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බවත්, මෙම ජාතික සම්පත් රැකගෙන මෙවර යල කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේ වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙසත් අදාළ බලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව සරත් රාජපක්ෂ වැඩිදුරටත් කීවේය.
මහජන මුදල් වැය කරමින් රජය මගින් ඉදිකරන ලද ලක්ෂ සීයක් වටිනා මෙම ගබඩා සංකීර්ණ දෙක ප්‍රයෝජනයට නොගන්නේනම් වෙනත් කර්මාන්තයක් හෝ ආරම්භ කරන ලෙසත්, මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේත් කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියහ.

අප මෙම විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙකත්, දිරාපත් වන වී තොග පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයකින් කළ විමසීම්කදී ඔහු පැවසුවේ එම ගබඩා සංකීර්ණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර කළමනාකාරවරයාගේ භාරයේ පවතින බවයි.

ඒ අනුව අප වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එලෙස දිරාපත් වන්නේ අබලි වී තොගයක් බවයි.
වී බෑග් වලින් ඉවත් වූ ඒවා එම් ගබඩාවේ තිබෙන බවත්, එම අබිලි වී නිකුත් කිරීමේදී කමිටුවක් හරහා ලබාදිය යුතු බවත් ශාන්ත කුමාර කීය.
අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයකින් හිඟ නිසා අරලගංවිල වී ගබඩාවට වී මිලදී ගැනීම එක් කන්නයකදි අම්පාර සේවකයින් යොදවා සිදුකරන බවද ශාන්ත කුමාර කීවේය.
වී අලෙවි මණ්ඩලයෙන් මුදල් ලැබුණ විගස පොලොන්නරුව කාර්යාල මගින් එම ගබඩාවට ගොවීන්ගේ වී අස්වනු මිලදී ගනු ඇතැයිද ශාන්ත කුමාර පැවසීය.







