කීර්ති ප්රනාන්දු –
තිරිඟු පිටි හිඟය හේතුවෙන් තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමඟ අධික මිලට තිරිඟු පිටි මිල දී ගැනීමට සිදු වීමෙන් ග්රෑම් 450 ක පාන් ගෙඩියක් අද සිට රුපියල් 300 ක ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි.
රුපියල් 3500 කට මිලදී ගත් කිලෝ 50 ක තිරිඟු පිටි මිටියක් අද වන විට රුපියල් 25000 කට මිලදී ගැනීමට සිදු වී ඇති බවත් ඒ අනුව පිටි කිලෝවක් සඳහා රුපියල් 400 කට වැඩි මිලක් වැය වන බවත් ඔහු කියා සිටියේය .
කළු කඩෙන් අධික මිලට පිටි මිල දී ගෙන නිෂ්පාදනය කරන පාන් ගෙඩියක් බේකරි හිමියන්ගේ කැමැත්ත පරිදි රුපියල් 300 කට අලවි කරනවාට සංගමයේ විරෝධයක් නැතැයි ද පැවසු සභාපතිවරයා එහෙත් රුපියල් 300කට පාන් අලෙවි කිරීමට තම සංගමය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද පැවසීය .
තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් පිටි කිලෝවක් රුපියල් 270 ක ට බේකරි වලට ලබා දෙන නමුත් එය සියයට 25% වැනි සුළු ප්රමාණයක් බව ද සභාපතිවරයා පවසයි .
මේ අතර පවතින තිරිඟුපිටි හිඟයට වහා විසඳුමක් ලබා දී බේකරි කර්මාන්තයත්
පාරිභෝගිකයාත් රැක ගැනීමේ කඩිනම් පියවරක් සඳහා රජය වහා මැදිහත්විය යුතු බවද සංගමය අවධාරණය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය .







