ඊයේ දහවල් පැමිණ කිසිම බියකින් තොරව පුද්ගලයින් දෙදෙනෙක් විසින් රුපියල් කෝටි දෙක හමාරකට වඩා වැඩි වත්කම් කොල්ල කෑ කොටහේනේ කෝටිපති ව්‍යාපාරිකයා උණ්ඩියල් ජාවාරමේ සිටින පුද්ගලයෙක් බවත් මේ කොල්ලය සැලසුම් කර ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ නිවසට නිතර යන එන පවුලේ හිතවත් කාන්තාවන් දෙදෙනෙක් බවත් පොලිස් විමර්ශකයින් අනාවරණය කරගෙන ඇත.
ව්‍යාපාරිකයාගේ හොර ජාවාරම හේතුවෙන් කොල්ලය පිළිබඳ පොලිසියට පැමිණිලි නොකරනු ඇතැයි යන බලවත් විශ්වාසය මත මෙම කොල්ලය සැලසුම් වී තිබේ.
කොල්ලකෑම සැලසුම් කර ඇති කාන්තාවන් දෙදෙනා කඳානෙ පදිංචිකරුවන්ය. මෙම කොල්ලයට පැමිණි පොලිස් වෙස් ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙක් එක් කාන්තාවකගේ දරුවෙකු ඉංග්‍රීසි ඉගෙන ගන්නා ගුරුවරියගේ සැමියාය.
අනෙක් පුද්ගලයා එම තැනැත්තාගේ ඥාති සොයුරාය. මේ පුද්ගලයින් දෙදෙනාම වාහන, නිවාස හා ඉඩම් බ්‍රෝකර්වරුන් ලෙස කටයුතු කරන්නන්ය.
ඔවුන් නිවසට පැමිණ ප්‍රශ්න කර ඇත්තේ මේ පුද්ගලයාගේ අතාර්කික වත්කම් ගැනය. කෙසේ වෙතත් කොල්ල කෑම සම්බන්ධ සියලු තොරතුරු සීසීටිවී දර්ශනවලත්, වෙනත් සාක්ෂි ගණනාවකත් සටහන් වී ඇති බැවින් ඔවුන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වී තිබේ.
කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







