ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ඉකුත් ජූලි මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීතියෙන් සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඉවත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කරගත යුතු බවත් ගෝල්ෆේස් අරගලයේ සිටි කණ්ඩායම් කීපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Black Cap Movement, PLUS ONE (+1) – රටවෙනුවෙන් මමත් එකෙක්, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, Youth Center – අරගල බිමේ තාරුණ්‍යය යන කණ්ඩායම් ඒකාබද්ධව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.
ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ, ඔවුන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු බවත්, ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් මෙලෙස උක්ත වගන්ති හදිසි නීතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බවත්ය.ඒ් පිළිබඳ තමන් ප්‍රසාදය පල කරන බවත් මෙම පිරිස දන්වා සිටිති.
තව ද, එවැනි සාධනීය තත්ත්වය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමග පැවැත්වෙන සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැල්වූ කොළ එළියක් ලෙස ඔවුන් සලකන බව ද මෙම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් පොදු මහජන අරගලයට සම්බන්ධ පාර්ශ්ව වශයෙන් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරයේ තමන් සිටින බවත්, ඒ අනුව දැනට පනවා ඇති හදිසි නීතිය ක්රමික වැඩපිළිවෙළක් තුළ ඉවත් කර, හදිසි නීතිය යොදාගෙන අරගලකරුවන් වෙත මුදාහැරෙන මර්දනය වහා ම නතර කළ යුතු බවත් ඔවුහු රජයට අවධාරණය කරති.
හදිසි නීතිය මුළුමනින් ම ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව සහ ඒකාබද්ධව එකී ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ද ඔවුහු දන්වා සිටිති.







