අරගල බිමේ තරුණ නියෝජිතයන් පිරිසක් සහ වෘත්තීයවේදීන් පිරිසක් එක් ව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ බවට ප්‍රචාරය වන පුවත සාවද්‍ය බව අරගල බිමේ නියෝජිත සංවිධානයක් වන බ්ලැක් හැට් ව්‍යාපාරය (Black Cap Movement) පවසයි.
ඊයේ (01) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් මඟින් අරගල බිමේ තරුණ නියෝජිතයන් පිරිසක් සහ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපතිවරයා හමුවී ඉදිරි කාලයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ව යෝජනා ඉදිරිපත් කළ බවට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔවුහු පවසති.
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“ගාලු මුවදොර පමණක් නොව රට වටා ගෝඨාගෝගම්මාන වලින් පවා එවැනි කිසිදු නියෝජිතයකු ජනාධිපති හමු වී නොමැති බව ගාලුමුවදොර අරගලබිමේ පාර්ශ්වකරුවන් ලෙස Black Cap Movement අවධාරණය කරමු.
එසේ හමු වූවා යැයි පවසන කෙනෙකු වේ නම් ඒ අරගලබිමේ පාර්ශ්වකරුවකු විය නොහැකි බව ද අපි අවධාරණය කරමු.
අද වන විට රට මුහුණ දෙමින් සිටින භයංකර ව්‍යසනයේ නිර්මාපකයන් වන්නේ රාජපක්ෂ රෙජීමයයි. එම රෙජීමය සමග අලුතෙන් සාකච්ඡා කිරීමට දෙයක් අරගලකරුවන්ට නොමැත. ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ සමස්ත රාජපක්ෂ රෙජීමයට ම අරගලබිමෙන් දෙනු ලබන එක ම පණිවුඩය වන්නේ රට තවදුරටත් අගාධයට නොයවා හැකි ඉක්මණින් ඉල්ලා අස්වන ලෙසයි. එම ඉල්ලීම, ගාලුමුවදොර උද්ඝෝෂණයට දින 50ක් පිරුණු දින හෙවත් අප්‍රේල් 28 වැනි දින ජනතා ආඥාවක් ලෙස ප්‍රසිද්ධියේ ජනගත කර තිබේ.
ව්‍යාජ සාකච්ඡා යනු අරගලය දියාරු කිරීමේ එක සුපුරුදු මෙවලමකි. අරගලබිමේ නියෝජිතයන් ලෙස තමන්ගේ ම පිරිස් දම්මවා සාකච්ඡා පවත්වා මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ද තවත් එවැනි ම රැවටිල්ලකි.
දින 50කට වඩා ආණ්ඩුවේ විවිධ ක්‍රමෝපාය සමග ගැටෙමින් ආ අප මේවාට රැවටෙන්නේ නැත. මීට පෙර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද, කළේ අරගලකරුවන්ගේ නායකයන් සොයාගැනීමේ අරමුණින් එම උපාය ම පාවිච්චි කළ අතර, අවසානයේ මහින්ද රාජපක්ෂට අපකීර්තිමත් ලෙස ගෙදර යාමට සිදු වූ අයුරු ද අපි මේ මොහොතේ ගෝඨාභය ජනපතිවරයාට සිහිපත් කරමු.“







